පළමු පාර්ලිමේන්තු රැස්වීම අද.

65

ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වෙනවා. 2015 වසරේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම ද මෙය වීම විශේෂත්වයක්.

පස්වරු 01.00ට පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු ආරම්භ වීමට නියමිත අතර නව අග‍්‍රාමාත්‍යවරයෙක්, සභානායකවරයෙක්, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයේ සහ විපක්‍ෂ නායකවරයෙක් යටතේ එම කටයුතු සිදුවීම විශේෂත්වයක්.

සභානායකවරයා ලෙස අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතාත් ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාත් ඉකුත් දා තෝරාපත්කර ගනු ලැබුවා.

ජනාධිපතිවරණයෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්‍ධානය විපක්‍ෂ නායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා තෝරාගත්තා.

ජනාධිපතිවරණයේ දී සිදුවු බල පෙරලියත් සමග මේ දක්වා විපක්‍ෂයේ අසුන් ගත් එක්සත් ජාතික පක්‍ෂය සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේ දී සහය පළ කළ කණ්ඩායමක් අද ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පෙර පැවති ආණ්ඩුවේ සාමාජිකයන් පිරිසකට අසුන් පැනවෙන්නේ විපක්‍ෂයට අයත් කොටස හෙවත් කථා නායකවරයාගේ වම්පස කොටසේයි.

මේ අතර අද දිනයේ දී අනපනත් සම්මත කර ගැනීමක් හෝ වෙනත් විවාද පැවැත්වීමක් සිදුවන්නේ නැහැ. අග‍්‍රාමාත්‍යවරයා සහ පක්‍ෂ නායකයින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ස්ථාවරයන් ඉදිරිපත් කිරීමක් පමණක් සිදුවනු ඇති.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්‍ධානය නියෝජනය කළ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ වමේ පක්‍ෂ ඇතුළු පක්‍ෂ නායකයින් 07 දෙනෙකු විපක්‍ෂයේ ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ ඊයේ දිනයේ කථා නායක චමල් රාජපක්‍ෂ මහතා දැනුවත් කළ බවයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *