මෙන්න මරාගෙන මැරෙන බොම්බයේ සියලු තතු.

යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේ නිවසක තිබී ඊයේ (30) සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම, පුපුරණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ සම්බන්ධයෙන් විමර්ශන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබෙනවා.

ඒ, වැඩබලන පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි.

මෙතෙක් කෙරුණු විමර්ශනවලින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළි වී තිබෙනවා. මෙම ද්‍රව්‍ය සහ උපකරණ අදාළ නිවස වෙත රැගෙනවිත් ඇත්තේ මාළු ප‍්‍රවාහනය කරන ලොරියකින්.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අදාළ නිවසේ හිමිකරු මෙන්ම ලොරියේ රියදුරු ද වනවා. පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම මරාගෙන මැරෙන ඇඳුම, පුපුණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ මුලතිව් හි වාහන අංගනයක තිබී රැගෙන ආ බවයි. ධීවර කටයුතුවලදී අදාළ පුපුරණද්‍රව්‍ය යොදාගත හැකි නිසා ඒවා මෙලෙස රැගෙන ආ බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරු එඞ්වඞ් පුලියන් නැමැත්තෙක්. ඔහු පුනරුත්තාපනය නොවූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

මරාගෙන මැරෙන ඇඳුම් සමග
හිටපු කොටියා කොටුවෙයි
ඇඳුම් කට්‌ටලය අලුත්ම එකක්‌

හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන ( දිවයින පුවත්පතින්)

111111111111111111111

යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක්‌, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ ඇතුළු අවි ආයුධ තොගයක්‌ සමඟ පුද්ගලයකු යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය මගින් පෙරේදා (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එඩ්වඩ් පුලියන් නමැති පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි සාමාජිකයෙකි.මෙහිදී සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලය අලුතින් නිෂ්පාදනය කරන ලද එකක්‌ බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 ක්‌ අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්‌ කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ ක්‌ලේමෝ බෝම්බ 4 ක්‌ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්‌ඩ 100 ක්‌ සහිත පෙට්‌ටි දෙකක්‌, මැග්නට්‌ බෝම්බ දෙකක්‌ තිබූ බව පොලිසිය පවසයි.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රබල පෙළේ කොටි ත්‍රස්‌තවාදියකුට අයත් චාවාකච්ෙච්රියේ පිහිටි නිවසේ මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ සඟවා තිබී ඇත.

පොලිස්‌ නිලධාරීන් මෙම නිවස වටලද්දී හිටපු කොටි ත්‍රස්‌තවාදියා නිවසේ සිට නැත. ඒ අවස්‌ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳ පමණි.

තම නිවස පොලිසිය විසින් වටකළ බවට මොහු වෙත තොරතුරු ලැබීමෙන් පසු ඔහු එම ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. පලාගිය ත්‍රස්‌තවාදියා අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලිසිය කොට්‌ඨාස බුද්ධි අංශය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කීරිමෙන් පසු අක්‌කරායකුලම් ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කුමන ආකාරයේ ප්‍රහාරයක්‌ සඳහා මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය බෝම්බ ඇඳුම් කට්‌ටල ඇතුළු අවි ආයුධ රැගෙන ආවේද යන්න පිළිබඳව කිසිදු තොරතුරක්‌ මේ වනතුරු ලැබී නැත.

මෙම ආයුධ සඟවාගෙන සිටි කොටි ත්‍රස්‌තවාදියා අවුරුදු 13 දී කොටි සංවිධානයට එක්‌වූ අයකු බව පොලිසිය පවසයි.

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක්‌ මත යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය සතියකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කළ විමර්ශනවලදී මෙම කොටි ත්‍රස්‌තවාදියා සහ ආයුධ තොගය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

යාපනය කොට්‌ඨාස බුද්ධි අංශ නිලධාරීහු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පෙරේදා රාත්‍රි මෙම ත්‍රස්‌තවාදියාගේ නිවස වටකර එහි තිබූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලදි.

ත්‍රස්‌තවාදියා සැඟවී සිටි නිවස සහ එම ඉඩම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ දැඩි සෝදිසියකට ලක්‌කර තිබිණි.

පොලිස්‌ ආරංචි මාර්ග පවසන්නේ මෙම ආයුධ සඟවාගෙන සිටි ත්‍රස්‌තවාදියා එම අවි ආයුධ වෙනත් ස්‌ථානයකට රැගෙන යැමට සූදානමින් සිට ඇති බවයි. මීට දින දෙක තුනකට ඉහතදී කුඩා ලොරි රථයකින් මෙම පුපුරණ ද්‍රව්‍ය ගෙනැවිත් ඇති බවත් සැකකරු කරවල විකිණීමේ ව්‍යාපාරිකයකු ලෙස කලක සිට යාපනය චාවාකච්ෙච්රි ප්‍රදේශයේ පදිංචි වී සිටි පුද්ගලයකු බවත් හෙළිවී තිබේ. මොහු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරී ත්‍රස්‌තවාදියකු ලෙස සිටි අයෙකු බව ඔහුගේ නිවස අවට පදිංචිකරුවන් හෝ හිතවතුන් කිසිවකු දැන සිට නැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත භාරදී ඇති බව පොලිස්‌ මාධ්‍ය මධ්‍යස්‌ථානය ප්‍රකාශ කළේය.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ෆ්‍රැන්ක්‌ලීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්‌පති ඩී. කේ. පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යාපනය කොට්‌ඨාස බුද්ධි තොරතුරු ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූහ.

මෙම අවි ආයුධ සම්බන්ධයෙන් කෙරෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පෙරේදා රාත්‍රි කාලයේම යාපනය බලා පිටත්ව ගොස්‌ සිටියහ.

පුපුරන ද්‍රව්‍ය රැගෙන ආවේ ප්‍රහාරයකට බව ස්‌ථිරයි
උතුරේ හමුදා ප්‍රධානීහු කියති

සිරිමෙවන් කස්‌තුරිආරච්චි ( දිවයින පුවත්පතින්)

ශීතකරණවල තිබෙන මාළු කුට්‌ටි පිටතට ගනුයේ පිසීමට මිස නිකම් තැබීමට නොවන බව ඊයේ (30 දා) අලුයම යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගය පිළිබඳ අදහස්‌ දක්‌වන උතුරේ හමුදා ප්‍රධානීහු සඳහන් කරති.

ස්‌ථිර වශයෙන් ම මෙම පුපුරන ද්‍රව්‍ය තොගය චාවකච්චේරිය නිවසට රැගෙන ආවේ උතුරේදී හෝ දකුණේදී සිදුකිරීමට සැලසුම් කළ ප්‍රහාරයකට අනුව විය හැකි බව උතුරේ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක්‌ ‘දිවයින’ ට පැවැසීය.

මෙම පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි මන්නාරම ප්‍රදේශයෙන් විවාහයක්‌ කරගෙන සිටින පුනරුත්ථාපනය නොවූ ත්‍රස්‌තවාදියකු බව ද යුද හමුදාව අවධාරණ කරයි.

යුද හමුදාව ද මේ සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ කිරීමට නියමිතය.

ආණ්‌ඩුව ඇත්ත හෙළි කළ යුතුයි
– ජී. එල්. පීරිස්‌

අනුර බාලසූරිය ( දිවයින පුවත්පතින්)

චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් සොයාගනු ලැබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගය පිළිබඳ ආණ්‌ඩුව සත්‍ය වසන් නොකර සම්පූර්ණයෙන් රටට හෙළිකළ යුතු යෑයි හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.එම නිවසේ තිබී පැති බෝම්බ පහක්‌, මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටල දෙකක්‌, සී. ෆෝ පුපුරන ද්‍රව්‍ය අඩංගු බෑග් තුනක්‌, ජංගම දුරකථන, සිම්කාඩ් පහක්‌ පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් මේවා වැල්ලවත්ත ප්‍රදේශයට ගෙනඒමට සැලසුම් කර තිබී ඇති බවත් දැනට ලැබී ඇති තොරතුරු අනුව හෙළිවන බවද පීරිස්‌ මහතා පැවැසීය.

ආණ්‌ඩුව මෙම සත්‍ය වසන්කර පෙන්නීමට උත්සාහ දරණ බවත් පැවැසූ ජී. එල්. පීරිස්‌ මහතා මේ පිළිබඳ සම්පූර්ණ පරීක්‍ෂණයක්‌ කර සත්‍ය රටට හෙළිකළ යුතුයෑයිද පැවැසීය.

මෙවැනි සිද්ධීන් තුළින් රටේ ජාතික ආරක්‍ෂාව බරපතල තර්ජනයට ලක්‌වී ඇති බව පැහැදිලි වන බවත් සාම්පූර් කඳවුර ඉවත් කිරීම, ත්‍රස්‌තවාදී පනත අයින්කර ගැනීම වැනි කටයුතු හරහා මෙවැනි සිදුවීම් විය හැකි බැවින් ආණ්‌ඩුව මේ පිළිබඳව සැලකිලිමත් වියයුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවේ
ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි

චමින්ද සිල්වා , ඡායාරූපය නිමල් දයාරත්න ( දිවයින පුවත්පතින්)

යාපනය චාවකච්ෙච්රිය ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය හමුවූ පමණින් එය ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ ලෙස සැළකිය නොහැකි යෑයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (30 වැනිදා) පැවැසීය. එල්.ටී.ටී.ඊ. යුද සමයේ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ සෑම දිනයකදීම වාගේ ආරක්‍ෂක අංශ සොයා ගන්නා බවට ආරක්‍ෂක අමාත්‍යාංශයට නිතර වාර්තා වන බවද ආරක්‍ෂක ලේකම්වරයා කීවේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වසර 30 ක්‌ පුරා පැවැති යුද්ධය අවසන්වී ඇතත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යුද සමයේ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ බුද්ධි අංශ තොරතුරු මත සොයාගනු ලබනවා. ඒවා සම්බන්ධයෙන් ආරක්‍ෂක හමුදා වෙනුවට පොලිසිය යොදවා පරීක්‍ෂණ සිදුකරනවා යෑයිද හෙතෙම කීය.

උතුරු නැඟෙනහිර ආරක්‍ෂක අංශ යටතේ පවතින ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට ලබාදීමට පියවර ගනු ලැබුවත් ඒවා ලබාදෙන්නේද ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවන පරිදි ආරක්‍ෂක අංශ අනුදැනුම මත බවද ඔහු කීය.

විශේෂයෙන් පලාලි ගුවන් හමුදා කඳවුර, කරෙයිනගර් නාවික හමුදා කඳවුර ඇතුළු ජාතික ආරක්‍ෂාවට වැදගත් ස්‌ථාන රැකගැනීමට රජය ප්‍රමුඛතාවයක්‌ ලබාදෙන බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

පුපුරන ද්‍රව්‍ය සොයා ගත් පොලිසියට උසස්‌වීම්

නෝමන් පළිහවඩන ( දිවයින පුවත්පතින්)

උතුරේ පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගත් පොලිස්‌ කණ්‌ඩායම දිරි ගැන්වීම සඳහා ඔවුන්ට උසස්‌වීම් හා මුදල් ත්‍යාග ලබාදීමට ක්‍රියා කරන බව වැඩබලන පොලිස්‌පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතා “දිවයින”ට ඊයේ (30 දා) පැවැසීය. එම වැටලීමට මුල්වූ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ සිට ඉහළ නිලධාරියා දක්‌වාම සොයා බැලිය යුතුව ඇති බවද කී වැඩබලන පොලිස්‌පතිවරයා පොලිසිය මහජනතාව සමඟ සමීපව සුහදව සිටියහොත් වටිනා ඔත්තු ලැබිය හැකි වන බවද කීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *