අයි­එ­ම්එෆ් විධා­යක මණ්ඩල අධ්‍ය­ක්ෂ­ව­රුන් ජනපතිගේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ප්‍රසාදයට ලක් කරයි

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පැසසුමට ලක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්‍යක්ෂවරු අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කළහ. මේ බව ප්‍රකාශ වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (11) පැවැත්වුණු අවස්ථාවේදීය.

ආසියාවේ ප්‍රමුඛයා බවට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය මෙහිදී හිමි විය.

ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළ අයිඑම්එෆ් විධායක මණ්ඩල අධ්‍යක්ෂවරු ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද සිය ප්‍රසාදය පළ කළහ. විශේෂයෙන් ප්‍රතිපත්ති-නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මඟින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා (Peter Breuer) සඳහන් කළේය.

2022 දෙවන භාගයේදී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බව පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය වූ බවත්, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පෞද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්හ.

උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වූ බවත්, මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වියදම් කපා හැරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති එයට හේතු වු බවද සඳහන් කෙරිණි. මෙරට විදේශ සංචිතවල ඉහළ යෑම වැනි ධනාත්මක ප්‍රතිඵලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන්ම ප්‍රාග්ධනය සහ යන්ත්‍රණ ගොඩනැඟීම තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනයට දායක වී ඇති බවත් එය දැනට පවතින පාලන යන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ තුළ ධනාත්මක දර්ශකයන් ලෙස සටහන් වන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි ඉදිරි විධිමත් සමාලෝචනය සහ 4 වැනි වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සිදු කිරීමට සැලසුම් කරන බැවින්, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ නීතිය සමඟ ඇති විය හැකි ගැටුම්, විදුලි ගාස්තු සහ දේපල බදු අය කිරීම යනාදිය ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ඇතුළත් වේ.

පවතින ප්‍රතිසංස්කරණ, මූල්‍ය ගැටලු විසඳාගැනීම සහ පාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යෑම පිළිබඳ කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ. බැංකු පනත සඳහා සංශෝධන සිදු කිරීම සහ බැංකු ක්ෂේත්‍රය ප්‍රතිප්‍රාග්ධනය කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *