විදෙස් ගමන් බලපත්‍ර තොගය දින 30 කින් අවසන් වන ලකුණු

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේද එකඟත්වය ඇතිව වෙනස් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.

ඒ අනුව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට වග උත්තරකරුවන්ට අවසර හිමිවන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.

කෙසේවෙතත් ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය තීන්දු කළා.

ඒ, “එපික් ලංකා පුද්ගලික සමාගම” විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක් සහ ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් අද දින තෙක් බලපවත්වන පරිදි අතුරු තහනම් නියෝග දෙකක් ඉකුත්දා නිකුත් කර තිබුණා.

ඒ අනුව අදාල පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී අදාල පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

දැනට නිකුත් කර තිබෙන මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබෙන බව ඔහු සඳහන් කර සිටියා.

මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13,880 ක් පමණක් බවත් අධිකරණයට දැනුම් දුන්නා.

එම ප්‍රමාණය උපයෝගී කරගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකිවන්නේ වැඩ කරන දින 30 කට පමණක් බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසවේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය අවසන් වීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පෙන්වා දුන්නා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *