වස­රක ලැබූ වැඩිම බදු ආදා­යම 2023 දී

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ එක් වසරකදී අය කරගත් ඉහළම බදු ආදායම ලෙස වාර්තා තබමින් වසර 2023දී රුපියල් කෝටි 155,060ක් (රු. බිලියන 1,550.6) ආදායමක් උපයාගෙන ඇත. මෙය වසර 2023 ආරම්භයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 104%ක් වන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

වසර 2022 එම දෙපාර්තමේන්තුව රු. බිලියන 861.2ක ආදායමක් ලබා ඇති අතර ඉකුත් වසරේ රු. බිලියන 1550.5ක ආදායමක් රැස් කරගෙන තිබේ

මෙලෙස ඉතා ඉහළ බදු ආදායමක් රැස් කරගැනීමට කටයුතු කිරීමේදී සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බදු ආදායම වසර 2022ට වඩා වසර 2023දී 25%කින් වැඩි වී ඇත. වසර 2022 දී එම බද්දෙන් රු. බිලියන 488.6ක් ලැබුණු අතර, වසර 2023දී එය රුපියල් බිලියන 611.3 දක්වා වැඩි වී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන වශයෙන් අය කරන පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, ඔට්ටු හා සූදු බද්ද, කොටස් ගනුදෙනු බද්ද ඇතුළු වෙනත් බදුවලින්ද ඉහළම ආදායම් ලබා ගැනීමට දෙපාර්තමේන්තුව සමත් වී ඇත.