බිල් නොගෙවීම හේතුවෙන් ලක්ෂ දහයක ගේ විදුලිය විසන්ධි කෙරේ

පසුගිය කාලය තුළ විදුලි බිල් නොගෙවීම සම්බන්ධයෙන් දසලක්ෂ හැටහතර දහස් හාරසීයක් විදුලිය විසන්ධි කිරීම් සිදුකර ඇති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළේ ය.

එහිදී ලංකා විදුලි බල මණ්ඩලය නව ලක්ෂ හැටපන්දාස් පන්සිය හැට හයක් විදුලි විසන්ධි කර ඇති අතර, ලෙකෝ ආයතනය මගින් අනූ අටදාස් අටසිය තිස් හතරක් විදුලි විසන්ධි කිරීම් සිදු කර ඇති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

විදුලි බිල අඩු කිරීම පිළිබඳ මේ වනවිට සාකච්ඡා කරගෙන යන බව ද එය අනිවාර්යයෙන් ම ඉදිරි කාලයේ අඩු වනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.