තරුණියකට අමානුෂිකව පහර දුන් ව්‍යාපාරික යුවළට ඇප

කඳාන ප්‍රදේශයේ ආයතනයකදී 19 හැවිරිදි තරුණියකට අමානුෂික ලෙස පහර දුන් අඹුසැමි යුවළක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඊයේ (ඔක්. 15) නියෝග කළා ය.

සේවා ස්ථානයේදී සිදු වූ පහර දීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන සමාජ මාධ්‍යයෙහි සංසරණය වීමෙන් අනතුරුව කඳාන පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප නියම කරනු ලැබිණි.

සැකකාර යුවළ මෙම තරුණියට අතින්, පයින් හා පුටුවලින් පහර දෙන අයුරු සටහන් වූ වීඩියෝ සමාජ මාධ්‍යයෙහි සංසරණය වූ අතර පොලිසිය ඒ අනුව විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ කඳාන, ආනියාකන්ද ප්‍රදේශයේදී ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්ටර්නෙට් ඔස්සේ භාණ්ඩ බෙදාහැරීමේ නිරත පෞද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිය බව ද පොලිසිය පවසයි.

මෙහිදී පහරකෑමට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය, ශාන්ත මරියා පටුමඟේ පදිංචි 19 හැවිරිදි තරුණියකි.

මෙහෙයුම් නිලධාරිනියක ලෙස ආයතනයේ සේවය කළ තරුණියට පහර දුන් සැකකරුවන් ඇගේ ඥාතීන් බව පොලිසිය කියයි.

සේවා සැපයීමේ ප්‍රශ්නයක් මත සැකකාර යුවළ තරුණියට පහර දී ඇතැයි පොලිසිය කියයි.