ජර්මන් මාධ්‍යවේදීයාට ජනපති රනිල්ගෙන් සැර උත්තරයක් 

ශ්‍රී ලංකාව කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිය ජර්මානු සංචාරය අතරතුර එරට මාධ්‍ය ආයතනයක් වන ඩොයිෂෙ වෙල්ලෙ (DW) සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, පාස්කු ප්‍රකහාරය සම්බන්ධයෙන් චැනල් 4 නැගූ චෝදනා පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ජනාධිපතිවරයා නොරිස්සුම්සහගත අයුරින් සහ දැඩි ස්වරයකින්, “ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර පරීක්‍ෂණ නෑ.. එච්චරයි!,” යනුවෙන් ප්‍රතිචාර දක්වන අයුරු නිරීක්ෂණය විය.

“ඔබ මේ බටහිර ආකල්පය ඉවත් කර ගන්න ඕනේ…”

ඔහු ප්‍රශ්න කළේ, මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය ආදී රවටල් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තරය පරීක්ෂණ සිදු නොකළේ නම්, ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටක් සහ ආසියානු රටවල් පිළිබඳව එවැනි පරීක්ෂණ සිදු කරන්නේ ඇයි ද? යනුවෙනි. “ඔබ හිතන්නේ අපි දෙවන පන්තියේ රටක් කියල ද?” යනුවෙන් ද ජනාධිපතිවරයා ඩොයිෂෙ වෙල්ලෙ මාධ්‍යවේදී මාටින් ගක්ගෙන් ප්‍රශ්න කළේ ය.

“ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර පරීක්‍ෂණ නෑ. එච්චරයි! ටික දෙනෙක් අහන්න ඇති. ඒත් පාර්ලිමේන්තුව එහෙම නැහැ. මට ඔයාට කියන්න අමතක වුණා, එෆ්බීඅයි වාර්තාව ගැන, පිට කිසි ම කෙනෙක් සම්බන්ධ නෑ කියලා තිබුණ වාර්තාව. එෆ්.බී.අයි. හිටියා. බ්‍රිතාන්‍ය පොලිසිය හිටියා, ඔස්ට්‍රේලියානුවන් හිටියා, ඉන්දියානුවන් හිටියා, චීනය හිටියා, මේ හැම කෙනෙක් ම, ඒ වගේ ම පකිස්තානුවන් හිටියා.”

ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් එකඟ නොවීම හේතුවෙන් සම්මුඛ සාකච්ඡාවෙන් නැගිට යාමට ඇති හැකියාව ගැන පවා ඔහු එහිදී ඉඟි පළ කරනු දක්නට ලැබිණි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, තම රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ද ප්‍රතික්ෂේප කරන බව ය.