දුම්රිය වර්ජනය: රට පුරා දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථාන 32ක ආරක්ෂාව සඳහා යුද්ධ හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ.

අපි සමග අදහස් දක්වමින් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, දුම්රිය ස්ථානවල ආරක්ෂාවට අමතරව දුම්රිය නියාමන මැදියරියට ද හමුදා ආරක්ෂාව යොදවා ඇති බව ය.

මහ ජනතාවගේ ආරක්ෂාව, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව, රාජ්‍ය දේපළවල ආරක්ෂාව වෙනුවෙන් එලෙස හමුදා නිලධාරීන් යොදවා ඇති බව ඔහු පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත මෙලෙස හමුදා ආරක්ෂාව යෙදවූ බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර, දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අද (සැප්. 13) කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියැදුරන් විසින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් ඊයේ (සැප්. 12) රාත්‍රිය වන විට දුම්රිය ගමන් වාර 170කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *