දුම්රියේ ගැටීමට ගිය බස්රථයක් නූලෙන් බේරෙයි

දුම්රිය ධාවනය සඳහා හරස් මාර්ගයක් වසා තිබියදී ඒ හරහා පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් වාර්තා විය. 

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය සඳහා වසා තිබියදී ඒ හරහා අනතුරුදායක ලෙස මෙම පෞද්ගලික බස් රථය ධාවනය කිරීමට උත්සාහ ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පෞද්ගලික බසයේ රියදුරා ලබන 20 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියම කළේය. 

සැකකරු ගල්නෑව අවුකන මල්බලිගල පදිංචිකරුවෙකු වන කලුතන්ත්‍රීගේ කසුන් අමරුවන් නමැති 30 හැවිරිදි අයෙකි.

මෙම අනතුරුදායක සිදුවීම වාර්තාවී ඇත්තේ පෙරේදා (13) දිනයේදීය.

ඊට අදාළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු දුටු වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගැනීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කර තිබේ.

පොල්ගහවෙල ⁣පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් රණවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ විමර්ශනය සිදුකර පැය 02ක් ඇතුළත අදාළ බස් රථය සොයාගෙන ඇත. 

අදාළ බස් රථය ගල්නෑවේ සිට කොළඹ බලා දිනපතා ධාවනය කරවන බස් රථයක් බව එහිදී හෙළිවී තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන අවස්ථාවේදී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයේ සීග්‍රගාමී දුම්රියක් ධාවනය වෙමින් තිබී ඇති බවද ඒ බව දන්වමින් ආලෝක සංඥා දැල්වෙමින් තිබියදීත් පෞද්ගලික බස්රථයේ රියදුරා බස්රථය දුම්රිය මාර්ගය හරහා අනතුරුදායක ලෙස ධාවනය කරවීමට උත්සාහ දරා තිබේ.

එම අවස්ථාවේදීම දුම්රිය එම ස්ථානය පසු කරමින් ධාවනය කර තිබූ අතර යම් අයුරකින් බස්රථය දුම්රියේ ගැටුණා නම් මීට කලකට පෙර මඟීන් 48ක් මරණයට පත් කරමින් තවත් මඟීන් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුකරමින් වාර්තාවූ යාන්ගල්මෝදර පෞද්ගලික බස් හා දුම්රිය අනතුරට සමානම බිහිසුණු අනතුරක් සිදුවීමට ඉඩකඩක් තිබූ බවද පොලීසිය පවසයි.

මිනීමැරීමට තැත් කිරීම, දුම්රිය පැමිණෙන බව සඳහන් ආලෝක වර්ණ සංඥා දැල්වෙමින් තිබියදී ඒ බව නොසලකාහරිමින් අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම, බස් රථයේ සහ දුම්රියේ මඟීන් හට අනතුරක් ඇති බව දැනදැනම ඒ බව නොසලකාහරිමින් රිය ධාවනය කිරීම සහ අනතුරුදායක තත්ත්වයක් ඇති බව දැන දැනම දුම්රිය ගේට්ටු වසා තිබියදීත් රිය ධාවනය කරවීම යන චෝදනා හතර යටතේ සැකකාර රියදුරා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *