වට්ස්ඇප් හරහා සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ඇල්බම් හැදූ A/L සිසුවා දැලේ

නිරූපිකාවන් අවශ්‍ය බව පවසා වට්ස්ඇප් ඔස්සේ පළ කරමින් පාසල් යන සිසුවියන් 12 දෙනෙකුගේ නිරුවත් පින්තූර ලබාගත් 19 හැවිරිදිවියේ පසුවන උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (මැයි 16) අත්අඩංගුවට ගත්තේ ය.

මෙම සිසුවා ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ විද්‍යාලයක අධ්‍යාපනය ලබන බව පැවසේ.

නිරුවත් පින්තූර සඳහා යොමු කර ගෙන ඇත්තේ මිනුවන්ගොඩ, ගම්පහ සහ මීගමුව ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවියන් බව ත් අනාවරණය කර ගෙන ඇත.

එක්තරා පෞද්ගලික විද්‍යුත් නාලිකාවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඇරඹා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර පාසල් සිසුවා ජනප්‍රිය නිරූපිකාවන් දෙදෙනෙකුගේ නමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුමක් සකස් කොට නිරූපිකාවන් වීමට කැමැත්තෙන් සිටින ළාබාල යුවතියන්ට ඒ සඳහා ඇරයුම් කරමින් ඔවුන් සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇති බව ය.

මෙම ගිණුමට පණිවුඩ යොමුකරන යුවතියන් වයස අවුරුද 18ත් 20ත් අතර වූවන් බවට ද සැකකරු එම ගිණුම් ඔස්සේ පෝස්ට් පළ කර තිබේ. ඒ අනුව, මෙම ගිණුමට පණිවුඩ යොමු කරන ළාබාල යුවතියන්ට මුලින් ඔවුන්ගේ ඡායාරූප එවන ලෙස දන්වන බව ත් ඉන් අනතුරුව නිරූපිකාවන් වීමට සිය අඟපසඟවල නිරුවත් ඡායාරූප එවන ලෙස ත් සැකකරු මෙම යුවතියන්ට පවසා ඇත.

ඒ අනුව, යුවතියන් විශාල සංඛ්‍යාවක් මෙම ගිණුම්වලට ඔවුන්ගේ ඡායාරූප සහ සිරුරේ අඟපසඟ පෙන්වන ඡායාරූප එවා තිබේ.

පරිගණක අපරාධ කොට්ඨාසය ඒ ඔස්සේ විමර්ශන සිදුකරද්දී ප්‍රසිද්ධ නිරූපිකාවන්ගේ නම්වලින් වට්ස්ඇප් ගිණුම් පවත්වාගෙන යන්නේ පිරිමි පුද්ගලයෙකු බව හඳුනාගෙන සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් ඔහු රහස් පොලිස් නිලධාරීන්ට කොටුවන විට ත් පරිගණකයේ තිබූ එම නිරුවත් පින්තූර සියල්ල මකා දමා තිබිණි.

පසුව නිලධාරීන් එම යන්ත්‍රය උත්පාදය කිරීමෙන් පසු ඊයේ වන විට එලෙස ලබාගත් සිසුවියන් 12 දෙනෙකුගේ පින්තූර සොයාගැනීමට පරිගණක විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ.

මොහු කාලයක් තිස්සේ මෙම ව්‍යාජ ගිණුම් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු සන්තකයේ තිබී සිය භාරයට ගෙන ඇති පරිගණක තවදුරට ත් උත්පාදනය කරමින් තිබෙන බව ත් මීට වඩා වැඩි පිරිසකගේ නිරුවත් පින්තූර සැකකරු සන්තකයේ ඇති බව ත් විමර්ශන නිලධාරීහු සැක පහළ කරති.

සැකකරු ඊයේ (මැයි 16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහාගේ අධීක්ෂණය මත පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයුමෙන් සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.අයි.වී. ගයා ශ්‍රී ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *