ජපානයේදී මිය ගිය ශ්‍රී ලාංකික තරුණියගේ මරණය සම්බන්ධයෙන් යළිත් රට තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ

මීට වසර දෙකකට පෙර ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යාස්ථානයකදී මිය ගිය ශ්‍රී ලාංකික තරුණියගේ මරණය සම්බන්ධයෙන් යළිත් රට තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ.

ඒ, රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නමැති අදාළ තරුණිය රඳවා තබා සිටි කාමරයේ සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග ය.

ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතඥවරුන් විසින් අදාළ දර්ශන මාධ්‍ය වෙත ප්‍රථම වරට නිකුත් කරනු ලැබ ඇත.

ටෝකියෝහි පැවති මාධ්‍ය හමුවකදී බ්‍රහස්පතින්දා (අප්‍රේල් 6) නිකුත් කළ එම දර්ශනවල ඇයගේ මරණය සිදු වූ 2021 වසරේ මාර්තු 6 වන දා දක්වා දින කිහිපයක දර්ශන ඇතුළත් වී ඇති අතර ඒවායේ අදාළ රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇය හා කටයුතු කරන අයුරු සටහන් වී තිබේ.

තමන්ට ආහාර ගත නොහැකි බව ත් තමන්ව රෝහල්ගත ක‍රන ලෙස ත් ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අයුරු එම දර්ශනවල දැක්වේ.

විශ්මා වේදනාවෙන් කෙඳිරිගාමින් සිටියදී නිලධාරියෙකු සහ හෙදියක සතුටු සිතින් කතාබස් කරන අයුරු ද එම දර්ශනවල ඇතුළත් වේ.

ඇය මිය ගිය දින, බලධාරිනියක පැමිණ ඇය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඇය අවදි කිරීමට උත්සහ දරන ආකාරය ද එහි සටහන් වී ඇත.

මිය යන විට ඇය 33 වන විය පසු වූවා ය.

මේ වන විට විශ්මාගේ පවුලේ සාමාජිකයින් ඇයගේ මරණය සම්බන්ධයෙන් ජපන් රජයෙන් වන්දි ඉල්ලා නගෝයා අධිකරණයේ නඩු පවරා ඇත්තේ, ඇය නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම නිසා මිය ගිය බව පවසමිනි.

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි තරුණිය 2017 වසරේදී ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් තිබුණු අතර වීසා කල් ඉකුත් වී තිබියදීත් එරට තුළ රැඳී සිටීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මස ඇය එරට ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන මෙලෙස රඳවා තබා ගෙන තිබිණි.

ඒ අනුව, ඇය මිය යන දිනය දක්වා මාස 7ක පමණ කාලයක් අදාළ මධ්‍යස්ථානයේ රඳවා තබා තිබිණි.

එවකට ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණේ, නගෝයා නගරයේ ඇති ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක රඳවා සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 2021 වසරේ මාර්තු 6 වන සෙනසුරාදා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්වූ බව ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *