ශ්‍රී ලංකාවට යළිත් පරාජය: නවසීලන්තයට පහසු ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක් හිමි විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු කඩුලු දැවී රැස් කළේ, ලකුණු 157ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකව පන්දුවට පහර දුන් එක ම පිතිකරු වූ පැතුම් නිස්සංක ලකුණු 57ක් ලබා සිටියදී නායක දසුන් ශානකගේ වැරදි කැඳවීමක් නිසා දුවද්දී දැවී ගියේ ය.

දසුන් ශානක ලකුණු 31ක් සහ චාමික කරුණාරත්න ලකුණු 24ක් රැස් කළහ.

පන්දු යැවීමේදී නවසීලන්තයේ මැට් හෙන්රි, හෙන්රි ෂිප්ලි සහ ඩැරිල් මිෂෙල් කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් සමගින් පන්දුවට පහර දීම ආරම්භ කළ නවසීලන්තයේ පළමු කඩුලු 4 ඉක්මනින් බිඳ වැටිණි.

එහෙත්, විල් යං සහ හෙන්රි නිකොල්ස් එක්ව සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

විල් යං නොදැවී ලකුණු 86ක් සහ හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 44ක් රැස් කළහ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *