වෘත්තීයවේදීන් සඳුදා සිට යළි සටනට

බදු සංශෝධනවලට එරෙහිව විසඳුමක් නොලැබුණොත් ලබන සඳුදා සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සිදුවන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය ලබා දීමට කටයුතු කරන ලෙස දන්වමින් අවසන් ලිපිය ජනාධිපතිවරයා වෙත යැවීමට සූදානම් බව ද එම එකමුතුව පැවසූහ.

සියලු වෘත්තීය සමිති මේ සඳහා සහභාගි කරවා ගැනීමට කටයුතු කරන බව ත් ඒ සම්බන්ධව අද (මාර්තු 31) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා දිවයිනේ සියලු වෘත්තීය සමිති එක්ව ඉදිරි වැඩ වර්ජනයක් සැලසුම් කර ඇති බව ත් එය පවත්වන දිනය ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය මත තීරණය වන බව ත් හෙතෙම කීය.

පසුගිය සතියේ ජනාධිපති ලේකම්වරයා පොරොන්දු වූ ආකාරයේ විසඳුම් සහිත සාකච්ඡාව කල් දමමින් සිටින බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පැවසීය.

මෙලෙස වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සඳහා රජය ඇහුම්කන් නොදී ඔවුන් අපහසුතාවට පත් කිරීමට උත්සහ කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මේ ගැටලු සඳහා අවශ්‍ය දීර්ඝකාලීන විසඳුම් නොව කෙටි කාලීන විසඳුම් බවත් එම විසඳුම එළැඹෙන අප්‍රේල් මාසයට ද ක්‍රියාත්මක විය යුතු බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සියලු වෘත්තීය සමිති පෙළගස්වන්නට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පියවර ගන්නා බව ද ඔහු පැවසුවේ ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *