උත්සව සමයේ ගසාකන වෙළෙඳුන්ට නීතිය තදින්

එළඹෙන උත්සව සමයේදී වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කර පාරිභෝගිකයන් සූරා කෑමට ලක් කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ආහාර තොග අලෙවිසල්, ගබඩා හා සිල්ලවෙළෙඳසල් පරීක්‍ෂා කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේදී ඇතැම් විට කූට වෙළෙඳුන් විසින් වැඩි මිලට මෙන් ම ප්‍රමිතියෙන් තොර වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඉඩ ඇති බැවින් මෙම වැටලීම් සිදුකරන බව ද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙවැනි උත්සව කාලවකවානුවලදී ජංගම දුරකතන මිල දී ගැනීමට පාරිභෝගික ජනතාව බොහෝ සෙයින් පෙලඹෙන බවත් එවැනි අවස්ථාවලදී ජනතාවට සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා එම වෙළෙඳසල් පරීක්‍ෂා කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.

භාණ්ඩ මිල දී ගැනීමේදී පාරිභෝගික ජනතාවට වෙළෙඳුන්ගෙන් සිදුවන යම් අක්‍රමිකතාවක් වෙතොත් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද එම අධිකාරිය සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය විකිණීම මෙන්ම මිල ප්‍රදර්ශනය නොකර ආහාර ද්‍රව්‍ය විකිණීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝග නොතකා කටයුතු කරන සියලු වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද එම ප්‍රකාශකයා පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *