කොවිඩ්වලින් පසු පළමු වරට ෂැංහයි සිට චීන සංචාරකයින් 181 දෙනෙක් ශ්‍රී ලංකාවට

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට පළමු වරට චීන සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඊයේ (මාර්තු 10) රාත්‍රියේ පැමිණි 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයින් කණ්ඩායම දින 7ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිත ය.

ඔවුහු ඊයේ රාත්‍රී 06.51ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං (Qi Zhen Hong), සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

මෙතැන් සිට සෑම සතියක චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන් තොටුපළවල සිට ගුවන් ගමන් වාර 6ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් චීන සංචාරකයන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත ය.

මීට පෙර මාර්තු 1 දින කොරෝනා වසංගතයෙන් පසුව චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස වූ සංචාරකයන් 117 දෙනෙකු රැගෙන චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *