පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කර සිටින තරුණයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන් එසේ විදේශ රැකියා සඳහා යොමු කෙරෙන අතර එම තරුණයන්ට අවශ්‍ය විදේශ රැකියා පුහුණුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා ලබා දීමට නියමිතය.

එම වැඩපිළිවෙළේ මූලික අදියර වශයෙන් එවැනි තරුණයන් 50 දෙනෙකු විදේශ රැකියා සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි පස් අවුරුදු සැලසුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගිය දා (පෙබ. 16) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේ ය.

බන්ධනාගාර රැඳෙව්වන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණීමට නොහැකි ඥාතීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැඳවූවන් සමග අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

පෞද්ගලික අංශවල සහය ලබා ගනිමින් රැඳෙව්වන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව ද ඒ හරහා ඔවුන්ගේ පවුල්වල ආදායම් තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මීට අමතරව බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක, අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී. අබේකෝන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.