නානුඔය මාරක රිය අනතුර ගැන වැඩිදුර තොරතුරු

නානුඔය පොලිස් වසමේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, වෑන් රථයේ ගමන් කළ 6 දෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියැදුරු ය.

පොලිසිය සඳහන් කළේ, මරණකරුවන් අතර අවුරුදු 13ක පිරිමි දරුවෙකු, අවුරුදු 26, 27 වයසවල පසුවන පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු, වයස අවුරුදු 8 සහ 12ක් වන ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 43ක කාන්තාවක සිටින බව ය.

ඔවුන් නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සිද්ධියෙන් තුවාල ලැබූ 53 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

ඊයේ (ජන. 20) සවස නානුඔය පොලිස් වසමේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ අධ්‍යාපන චාරිකාව නිරත වෙමින් සිටි කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක් රැගත් බස් රථයක් රියැදුරුට පාලන කරගත නොහැකිව හැටන් දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ වෑන් රථයක හා ත්‍රිරෝද රථයක ගැටී තිබිණි.

අනතුරුව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට ගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.