උප්පැන්නය හදන්න මරණ සහතික ෆෝම් දීලා!


උප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබේ.

රෙජිස්ට්‍රාර් කාර්යාලය සතුව ප්‍රමාණවත් කඩදාසි නොමැතිකමින් මේ තීරණය ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය අවසර ලබා දුන් බව අප කළ විමසීමේදී තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියක් ඊයේ (ජන. 17) පැවසීය.

මේ ගැටලුව පිළිබඳව රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අවසර ලබා දී ඇති බව ද ඇය පැවසුවා ය. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම මෙම කඩදාසි ගැටලුව හටගෙන ඇති බව ත් ඒ සඳහා විසඳුමක් ලෙස පමණක් මෙම අතිරික්ත අයැදුම්පත්‍රයක් සංශෝධනය කරමින් භාවිත කරන බව ත් ඇය සඳහන් කළා ය.

මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (දකුණු කලාපය) කිසිදු අවසරයක් ලබා නොදුන් බව ත් මේ පුවත සම්බන්ධයෙන් තම කාර්යාලය ද දැනුවත් වූයේ පසුව බව ත් එහි උසස් නිලධාරියෙක් අප කළ විමසීමේදී සඳහන් කළේ ය.

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අත්තනෝමතික තීරණයක් මත මෙය සිදුකර ඇති බව ත් මේ සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති බව ත් රෙජිස්ට්‍රාර් ජනරාල් පී.එස්.පී. අබේවර්ධන පැවසීය. මේ වන විටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතුව ලක්ෂ 4ක පමණ අයැදුම්පත්‍ර මුද්‍රණය කර තිබෙන අතර ඒවා නිසි වෙලාවට ලබා නොගැනීම නිසා ඇති වූ අයැදුම්පත්‍ර හිඟයට මෙලෙස දැන්වීමක් නිකුත් කර තිබෙන බව ත් හෙතෙම කීය.

සිද්ධිය සම්බන්ධයෙන් හා මෙවැනි අසත්‍ය තොරතුරු ලබා දීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *