10-11 විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් ම පිට වෙලා

බස්නාහිර පළාත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (නොවැ. 18) දිනයේ ලබා දීමට නියමිත විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල් කිහිපයක එම ප්‍රශ්න පත්‍රය ලබා දීම අත්හිටුවීමට තීරණය කොට ඇත.

දෙවන වාර විභාගයේ ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල්වලට සකස් කොට ලබා දෙන අතර පාසල්වල විභාග අංශ හරහා එම ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කොට අදාළ දිනයට සිසුන්ට බෙදා දීමක් සිදු වේ.

මෙවර සාමාන්‍ය පෙළ සිසුන් හා 10 ශේ‍ර්ණි සිසුන් ඉලක්ක කර ගනිමින් සකස් කළ විද්‍යා ප්‍රශ්න පත්‍රය ඊයේ (නොවැ. 17) වන විටත් පිටවී ඇති බවට රාවයක් යමත් සමග පාසල් විදුහල්පතිවරුන් මෙම ප්‍රශ්න පත්‍රය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යාපනය ආරංචි මාර්ගයන් ‘මව්බිම’ට අනාවරණය කළේ ය.

මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් කියා සිටියේ වහා ම මීට අදාළ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තමා නියෝග කළ බව යි. මේ හේතුවෙන් පාසල් සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර තතුදත් අධ්‍යාපන ආරංචි මාර්ග කියා සිටියේ කලාපවලින් බස්නාහිර පළාත් පාසල් වෙත මේ සතිය පුරා ලබා දුන් ප්‍රශ්න පත්‍ර රැසක මුද්‍රණ ප්‍රශ්න පවා වාර්තා වී ඇති බව ය.

රජයේ විභාග ආකෘතීන්ට වාර විභාග ප්‍රශ්න පත්‍ර පවා මීට පෙර සකස් කළද මෙවර අකුරු හැඩතල හා අකුරු ප්‍රමාණයන් මෙන් ම පිටුවකට එන ප්‍රශ්න ගැන පවා නොසිතා වාර විභාග ප්‍රශ්න පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් සකස් කිරීම හේතුවෙන් පිටු අපතේ යාමක් පවා සිදුව ඇතැයි ද අධ්‍යාපන ආරංචි මාර්ගයන් වැඩිදුරටත් කියා සිටී.

දැනට පැවති 11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර ඒ-3 කොළයකින් නිම කර ගැනීමට තිබියදීත් මෙවැනි නොසැලකිලිමත්කම් හේතුවෙන් ඊට අමතර ඒ-4 කොළයක් පවා අමතරව එකතු කිරීමට සිදුව ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *