ගෝඨාභය ට යළි නොතීසි නිකුත් කරන්නැයි දැනුම්දීමක්

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට දී ඇති අභියාචනාධිකරණ තීන්දුවට බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්. 19) පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම අද ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන තිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස නොතීසි නිකුත් කර ඇත.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි යවා තිබෙන බව ය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිට නොමැත.

ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ වෙත යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දී, ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම යළි දෙසැම්බර් මස 15 වන දා කැඳවන ලෙස නියෝග කර තිබේ.

2011 වසරේ දෙසැම්බර් මස 10 වන දා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වන දා පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබ තිබිණි.

කෙසේ වෙතත්, තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බව ත් එබැවින් යාපනය මහේස්ත්‍රාත්වරයාගේ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ත් ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබිණි.

එය විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහුව සාක්ෂියට කැඳවිය නොහැකි බවට තීන්දු කිරීම කර තිබිණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බව ත් ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ජනාධිපති ධූරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ත් ඉල්ලමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබිණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *