ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳන්න ජපානය පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ හමුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

එරට The Yomiuri Shimbun පුවත්පත වාර්තා කරන්නේ, එහිදී ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවම කරගත හැකි මාර්ග වැනි කරුණු පිළිබඳව සහ චීන ණය පිළිබඳව කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකාවට චීනයෙන් ඇති බලපෑම මැඩපැවැත්වීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව ය.

ඝාතනයට ලක් වූ ජපානයේ හිටපු අග්‍රමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සැප්තැම්බර් මාසයේ සහභාගි වූ අවස්ථාවේදී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සහ තවත් පිරිස් සමග සාකච්ඡාවල නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සඳහා උපකාර කරන ලෙස ජපානයෙන් ඉල්ලා තිබුණු බව ජපන් රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් The Yomiuri Shimbun පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට ක්‍රියාකාරීව දායක වන ලෙස ජපානය මෙරට ණය හිමි අනෙක් රටවල්වලින් ඉල්ලා සිටින බව ද අදාළ වාර්තාවේ දැක්වේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *