සෞඛ්‍යයට දෙන්නත් රටේ පෙට්‍රල් තොග මදි වෙයි

පෙට්‍රල් පරිභෝජනය කරන මෙරට ජනතාව අද දිනය පිලිබඳව දැඩි විශ්වාසයකින් පසුවනවා. ඒ, ඊයේ උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව අද දිනයේ දිවයිනට ළඟාවේයැයි තබා ඇති බලාපොරොත්තු හේතුවෙන්. 

අද දිනය පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන බොහෝ පිරිසක් දින කිහිපයක සිටම තවදුරටත් පෝලිම්වල රැඳී සිටිනවා. ඊයේ පෙට්‍රල් නැව නොපැමිණෙන බව දැනුම්දුන්නද එතෙක් පැවති දිගු පෝලිම් අඩු නොවූ අයුරුද බොහෝ ප්‍රදේශවලදී දැකගත හැකි වුණා. කෙසේවෙතත් අද දිනයේ එම පෙට්‍රල් නෞකාව නිෂ්චිත වශයෙන්ම දිවයිනට පැමිණේදැයි බලශක්ති අමාත්‍යවරයා හෝ නිලධාරීන් මේ මොහොත තෙක් තහවුරු කර නැහැ. 

මේ අතර ඊයේ දිනයේද පිරවුම්හල් වෙත පෙට්‍රල් නිකුත් කෙරුණේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ, ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් තොග රට තුළ නොමැතිවීම හේතුවෙන්. අද දිනයේ පෙට්‍රල් නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව එහි සාම්පල් පරීක්ෂාව කඩිනමින් සිදුකර බෙදා හැරීම ආරම්භ කිරීමටයි ඛණිජ තෙල් සංස්ථාව මේ වන විටත් සැලසුම් කර ඇත්තේ. කෙසේවෙතත් මෙට්ට්‍රික් ටොන් 40,000 ගොඩබෑමට දිනකට ආසන්න කාලයක් ගතවුවද බෙදා හැරීම් කටයුතු ඊට පෙර ආරම්භ කිරීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද සිට සෑම සිකුරාදා දිනකම තෝරාගත් පිරවුම්හල්වලදී ඉන්ධන නිකුත් කිරීමට මීට පෙර තීරණය කෙරුණා. එහෙත් ඔවුන්ට ද ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමාණවත් තොග රට තුළ නොමැති බවයි වාර්තා වුණේ. මේ හේතුවෙන් අද දිනයේ සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත බොහෝ දුරට එම පිරවුම්හල්වලදී ඉන්ධන නිකුත් නොකරනු ඇති.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *