බස් ගාස්තු සියයට 15 කින් ඉහළට – අවම ගාස්තුව 20 වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බස් ගාස්තු ඉහළ දැමීම සියයට 15 ක ප්‍රතිශතයකින් සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ බස් ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියට අනුව ඩීසල් මිල ඉහළ දැමීමේ ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගනිමින් මෙම බස් ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බවයි. 

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසුවේ.

බස් ගාස්තු සංශෝධන සටහනට අනුව මීට පෙර අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමුනේ ඉකුත් ජනවාරි මස 04 වනදායි. ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම හේතුවෙන්. 

එහිදී සාමාන්‍ය සේවා අවම ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 17 දක්වා රුපියල් 3 කින් ඉහළ දැමුණා. සාමාන්‍ය බස් ගාස්තුව උපරිම වැඩි කෙරුණේ රුපියල් 1,109 සිට 1303 ක්  දක්වා රුපියල් 194 කින්. එම අවස්ථාවේ බස් ගාස්තු ඉහළ නැංවූ ප්‍රතිශතය සටහන් වූයේ සියයට 17 යි දශම 4 යි 4 ක් ලෙසයි. බස් ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියට අනුව එම බස් ගාස්තු වැඩිකිරීම සිදුකළ බව ප්‍රවාහන අමාත්‍යංශය පැවසුවා.

මේ අතර බස් ගාස්තු ඉහළ දමන තෙක් සියළු ගමන්වාර ක්‍රියාත්මක නොකරන බවයි පෞද්ගලික බස් සංගම් මීට පෙර ප්‍රකාශ කළේ. ඒ අනුව අද දිනයේද ධාවනය කරන්නේ අඩු බස්රථ සංඛ්‍යාවක් බවයි පෞද්ගලික බස්රථ සංගම් පැවසුවේ.     


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *