ඩීසල් භාවිත කළ යුතු ආකාරය ඛණිජ තෙල් සංස්ථාව කියයි

ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේවනවිට දින 07 කට පමණ ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පවතිනවා. 

කෙසේවෙතත් ඩීසල් නැවක් මෙරටට ලගාවීම සඳහා දින 06 ක පමණ කාලයක් ගතවිය හැකියි. එලෙස පැමිණෙන නෞකාවෙන් ඩීසල් ගොඩබෑමට ද දින 02 කට වැඩි කාලයක් ගත වනවා. එබැවින් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලගාවී එම ඩීසල් තොග ගොඩබාන තෙක් රට තුළ පවතින ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි ලංකා ඛණිජ තෙල් නීතිගක සංස්ථාව පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් පිරවුම්හල් වෙත නිකුත් කරන ඩීසල් ප්‍රමාණය සීමා කර ඇති බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.  

ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය, පොලීසිය, ත්‍රිවිද හමුදාව, රෝහල් ඇතුළු සෞඛ්‍ය අංශ වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මෙන්ම ධීවර වරාය හා නිදහස් වෙළඳ කලාප  ආශ්‍රිත පිරවුම්හල් සඳහා ඩීසල් නිකුත් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. 

ඩීසල් තොග පිළිබඳ මෙවැනි ගැටළුවක් පැවතිය ද පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට පවතිනවා. දින 08 කට පමණ ප්‍රමාණවත් පෙට්‍රල් තොග සංස්ථාව සතු ගබඩාවල පවතින අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට ලගා වී ඇති අතර එම නෞකාවෙන් පෙට්‍රල් ගොඩ බෑම අද පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතයි. 

ඒ අනුව එම නෞකාවේ පවතින පෙට්‍රල් තොගයත් සමග දින 20 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *