LTTE යුද අපරාධ ගැන සාක්‍ෂි සහිතව සැකසූ වීඩියෝව ජාත්‍යන්තරය කළඹයි!!

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ එල් ටී ටී ඊ ය සමඟ සිදුකල තිස් අවුරුදු යුද්ධය සිරියාවේ හෝ මියන්මාරයේ අර්බුදයට සමාන කල නොහැකි බව ලන්ඩන් ඉනීශියේටිව්හි කැඳවුම්කරු නීතීඥ ජයරාජ් පළිහවඩන පවසනවා. ඔහු පෙන්වා දුන්නේ එල් ටී ටී ඊ සංවිධානය පරාජය වූ බව පිළිගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ස්ථිර සාමය සඳහා මගපාදන බවයි.
කොටි සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදුකල යුධ අපරාධ පිළිබඳ සාක්ෂි සහිතව මාධ්‍යවාර්තා වැඩසටහන ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය කෙරුණු අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
අදාළ වාර්තා වැඩසටහන කැනඩාව , මහා බි්‍රතාන්‍ය , එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර කේන්ද්‍ර කරගනිමින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රදර්ශනය කෙරුණා. ඉන් අනතුරුව පැවති සංවාදයකට එක්වෙමින් ලන්ඩන් ඉනීශියේටිව්හි කැඳවුම්කරු ජෙයරාජ් පළිහවඩන වැඩිදුරටත් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන බහුතර දෙමළ ජනතාව රජය සමග එක්ව වැඩකටයුතු සිදුකරන බවයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස තමන් සැම විටම ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන බවත් දේශීය යාන්ත්‍රණයකට සහය ලබාදීම පමණක් ප්‍රමාණවත් බවත් ජෙයරාජ් පළිහවඩන එම සංවාදයේදී අවධාරණය කළා.
මෙම අවස්ථාවට එක්වූ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති විශ්ලේෂක ආචාර්ය නෙවිල් හෙවගේ ද අදහස් දැක්වූවා.
ඔහු සඳහන් කලේ හිටපු හමුදා ප්‍රධානීන්ට හෝ පුනුරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර මැදිහත්වීම් හෝ නිතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බවයි. දේශීය යාන්ත්‍රණයකට ශ්‍රී ලංකාවට සහය ලබාදීම එක්සත් ජාතීන්ගේ යුතුකම බවද ඔහු අවධාරණය කළා.
මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.