බන්ධනාගාරය තුළ රන්ජන් සමග සෙල්ෆි ගැසීමට මන්ත්‍රී හර්ෂණට අවසර දුන් නිලධාරීන්ට වැඩවරදී!

සිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගොස් ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ඊයේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා ඔහු සමග ගත් සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා. හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිය මන්ත්‍රි වරප්‍රසාද උල්ලංඝණය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මාධ්‍යවාර්තාකරු වෙත පැවසුවේ.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳ තමන් කථානායකවරයාට ද අද දැනුම් දෙන බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කියා සිටියේ.

මෙම සිදුවීම පිළිබඳ මාධ්‍යවාර්තාකරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් විමසීමට උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට තවත් මාස 3 ක නිවාඩුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්‍ෂය අද පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමන්ට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සභාවට කැදවීමට නොහැකි බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *