ජාත්‍යන්තර කාන්තා දිනය අදයි!

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “රටකි – දැයකි – ලොවකි ඇය” යන්න මෙවර එහි තේමාවයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ බේරුවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් ඇයගේ සතිය නමින් දින 7ක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ.

මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බවත් ඒ අනුව ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇති බවයි.

වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජයීය සංස්කෘතික ජීවිතයේ ක්ෂේත්‍ර ගණනාවක වැඩි නියෝජනය හිමිකර ගැනීමට කාන්තාව සමත්ව සිටිනවා. තවත් ක්ෂේත්‍ර රැසක ඇය පිරිමියාට අභියෝග ඛරමින් සිටී. මෙම ජයග්‍රහණ කාන්තාවගේ බුද්ධියට ධෛර්යයට හා කැපවීමට මෙන්ම අපේ සමාජයේ සමාජ සාධාරණත්වයට හා පරිණතභාවයටද නිදසුනක්. දේශපාලන ක්ෂේත්‍රයේ ඇගේ සහභාගිත්වය වර්ධනය කළ යුතුව තිබෙන බවයි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙව් පණිවුඩයක් නිකුත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩය් නිකුත් කර තිබෙනවා. ලෝකයේ කාන්තා අයිතාවාසිකම් වෙනුවෙන් එක්දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙන්ම වෙනස් කොට සැලකීම අප රජයක් ලෙස තරයේ හෙළා දකින අතර ඔවුන්ගේ නැගී සිටීම සමාජ යහපතට යෙදී ඇති අවස්ථා අප රටක් ලෙස අත්විඳිමින් සිටින බවයි අග්‍රාමාත්‍ය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිකුත් කළ පණීවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.