විනාශවේගෙන යන රට බේරා ගන්න.. මේක තමයි අන්තිම මොහොත – ගැටඹේ හිමි ගෝඨා ට කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(14) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ඒ මහතා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්ද බැහැදුටුවා.

අනුරාධපුරයේදී ඊයේ(13) ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදාගැනීමෙන් පසු මහනුවර වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් අද උදෑසන විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණි.

ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනකායක් එක්ව සිටියේය.

එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගැනීමට පැමිණි අතර එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැදුටුවේය.

පසුව ඒ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගෙන්ද ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීම සිදු වූයේ ඉන් අනතුරුවයි.

පසුව ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පැමිණියේ මහනුවර පුල්ලෙයාර් කෝවිලටයි.

එහිදී ආශිර්වාද ගැනීමෙන් අනතුරුව පිටතට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණ සිටි පිරිසගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“විශේෂයෙන්ම වතුකරයේ වැඩකරන ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමටත් ඒ තරුණයන්ගේ රැකී රක්ෂා ප්‍රශ්නය පිළිබඳවත් ඒ වගේම නිවාස ප්‍රශ්නය පිළිබඳවත් අපිට විශේෂ අවබෝධයක් තිබෙනවා. අපි මේ ප්‍රශ්න නිරාකරණය කිරීමට අපේ රජයක් යටතේ අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා.“

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්අනතුරුව විපක්ෂ නායකවරයා සමග පැමිණියේ මීරා මක්කම් මුස්ලිමී දේවස්ථානය වෙතයි.

මෙහිදී අදහස් දැක්වු රිස්වාන් මවුලවි තුමා මෙසේ පැවසීය.

“මෙවර ජනාධිපතිවරණයට තරගවදින ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඒ වගේම අල්ලාහ් දෙවියන් වහන්සේගේ දයාව හිදාජ් නැමැති නිවැරදි මාර්ගය ඒ වගේම අල්ලාහ්ගේ කරුණාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ඔබලාට ඒ වගේම ඔබේ පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් ඇතුළු සියලු දෙනාටම විජයග්‍රහණයක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම සමස්ත ලංකාවටම ඔබ සියලු දෙනාටම ඉතාමත් එක්සේසත්භාවය රැකීම සඳහා නායකත්වයක් ලබාදෙත්වා කියලා ප්‍රාර්ථනා කරමි. “

පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත විය.

මෙහිදී අදහස් දැක්වු ගැටඹේ රාජෝපවනාරාමාධිපති මෙසේ ද පැවසීය.

“පෙරේදා ඔබතුමා හොඳ කතාවක් කළා.ඒ කතාව ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕන.ඔබතුමා යමක් කිව්වොත් හරියට කරනවා කියලා කවුරුත් දන්නවා.ඒ නිසා ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ විනාශ වේගෙන යන රට ගොඩගැනීම සඳහා අපිට උදවු කරන්න.

තමන්ගේ වටිනා ඡන්දය රට විනාශ කරන්න දෙන්න බැහැනෙ.ඒ නිසා ඡන්දය පාවිච්චි කරන්න කියලා සිංහල මිනිස්සුන්ට බොහොම ඕන කමින් ප්‍රකාශ කරනවා.මොකද මේ විනාශ වේගෙන යන රට ගොඩගන්න අපිට ශක්තිමත් පුද්ගලයෙක් ලැබිලා තියෙන නිසා.සරත් ෆොන්සේකා මහත්තයාට හොඳට තේරිලා තියෙනවා.ඔබතුමාගේ අගේ.

ඉතින් එහෙම කියන්න තරම් ශක්තියක් ඒ මහත්තයාට තියෙන්නෙ ඔබතුමා ගැන මනා අවබෝධයක් තියෙන නිසානෙ.මේක තමයි අන්තිම මොහොත.මේ මොහොත පැන්නොත් ඉවරයි රට,අපි සේරම.“

පසුව මැණික්හින්න හූරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් ද බැහැදුටුවා.

Leave A Reply

Your email address will not be published.