මහින්දට විපක්ෂ නායක ධූරය දැරිය හැකි ද?

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීම නිසා ඔහුට තවදුරටත් විපක්ෂ නායක ධුරය දැරීමට නීතිමය හැකියාවක් ඇත්දැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, පසුගිය ඉරිදා දිනයේ දී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් බවත්, මහින්ද මහතා පාර්ලිමේන්තු පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

එවැනි වෙනත් පක්ෂයක සමාජිකත්වය ගැනීමෙන් එතුමාට තවදුරටත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක ධූරය දැරීමට සදාචාරත්මක පසුබිමක් ඇති ද යන්න පිළිබඳව කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී පැවසිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස ජනාධිපතිවරයා හා ලේකම් වශයෙන් අමරවීර මහතාත් මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජීකත්වය හා මන්ත්‍රීධූරය අහෝසි කරන්නේ ද යන්න මෙහිදී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කර සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසා සිටියේ, ‘ගෝඨාභය රාජපක්ෂ මහතා ආපු එකෙන් බය වෙලා ද ඉන්නේ‘ යනුවෙනි.

එයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා, සියලුම රාජපක්ෂවරු එකතු වී සිටිය දී මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කළ බවත්, එවැනි බලයක් තිබු අයෙක් පරාජය කළ පසු ගෝඨාභය මහතා කිසිදු අභියෝගයක් නොවන බවත් පැවසීය.

පාඨලී චම්පික යනු දක්ෂ ඇමති කෙනෙක් බවත් පැවසු මන්ත්‍රීවරයා, ඔහුටත් බලාපොරොත්තුවක් ඇති බවද කියා සිටියේය.

ලබන සඳුදා සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට නියමිත බවත් එය අගමැතිවරයා දැන ගනු ඇති බවත් කෙසේ වෙතත් පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා හමුවීමට හොරෙන් යා යුතු නොවන බවත් රහුමාන් මහතා මෙහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.