පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳ ජනපති කළ කරුණු විමසීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 23 වැනිදා කරුණු විභාගය ආරම්භ කරනු ඇතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන් පසු ඉදිරි දිනකදී ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.
නව සීමානිර්ණ වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් පළාත් සභා ඡන්දය නව ක්‍රමයට පැවැත්වීමට බාධා එල්ල වූ අතර ඒ අනුව අදාල සංශෝධන සිදුකිරීමට එය අගමැති ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හමුවට යොමුකෙරුණි.
එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් පියවරක් මේ දක්වා ගෙන නොමැති අතර ඌව පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අටේම නිලකාලයද අවසන්ව තිබේ.
මෙම වාතාවරණය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථාවේ 129 වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නීතිපති මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ජනපති කළ විමසීම සම්බන්ධයෙන් බොහෝදුරට එළැඹෙන අගෝස්තු 23 වැනිදා අධිකරණය කරුණු විභාගය ආරම්භ කරනු ඇති බවයි.
එහෙත් මෙය ජනාධිපතිවරණය යටපත් කිරීමේ සූදානමක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කළේය.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ තරුණයෝ නම් සංවිධානය වයස අවුරුදු 18 වැඩි සෑම තරුණ තරුණියකටම මීලඟ මැතිවරණයේදී ඡන්ද බලය ලබාදෙන ලෙස ඉල්ලමින් අද මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් වන ලිපියක්ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදෙනු ලැබුවේය.