අපේ අපේක්ෂකයා රට ඉල්ලන ආගමික නායකයින් නිර්දේශ කරපු කෙනෙක්

අගෝස්තු මස 18වැනිදා ගෝල්ෆේස් පිටියේ පවත්වන මහ රැළියේ දී නව බලවේගයේ අපේක්ෂයා රටට ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“මහානායක හාමුදුරුවන් වහන්සේලා, අනෙකුත් ආගමික නායකතුමන්ලාගේ එකඟතාවයෙන් ශී‍්‍ර ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකරගැනීම උදෙසා සුදුසුකම් ඇති මැතිවරණ අපේක්‍ෂකයන් තෝරා පත්කර ගැනීම සඳහා දේශපාලන පක්‍ෂ නායකයන් හා මහජනතාව වෙත නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සඳහා මල්වතු, අස්ගිරි, අමරපුර, සහ රාමඤ්ඤ මහා නිකායන්වල මහානායක හාමුදුරුවන් වහන්සේලා, කොළඹ අග රදගුරු හිමිපාණන්, ලංකා සභාවේ රදගුරු හිමිපාණන්, සමස්ත ලංකා හින්දු සම්මේලනයේ කුරුක්කල් තුමා සහ ජමියතුල් උලමා සභාවේ සභාපතිතුමන් අත්සන් කොට තිබෙනවා.

රටේ ඊළඟ දේශාපාලන නායකත්වය සහ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වන නියෝජිතයින්ට මෙම නිර්දේශ වලංගු වෙනවා.

එම නිර්දේශවල පැහැදිළිව සඳහන් වෙනවා, අපරාධ වැරදිවලට වරදකරුවී ඇති අපේක්‍ෂකයන්, නඩුපවතින අපේක්‍ෂකයන් සඳහා නාම යෝජනා ලබානොදිය යුතුයි කියලා.

වර්තමානයේ අපේ රටේ මැතිවරණවලට තරඟ වදින අපේක්‍ෂකයින්ගේ නුසුදුසුකම් නිසා ආගමික නායකයින් එක්වී මෙලෙස නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරන්න කටයුතු කළා.

සියලූ දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මෙම නිර්දේශ ඉදිරිප්කළේ. රට ඉල්ලා සිටින්නේ එවැනි අපේක්‍ෂකයින්. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ ඊට හාත්පසින් පරස්පර දේවල්.

ජනතා විමුන්ති පෙරමුණත් තවත් දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, වැඩකරන ජනතාව, ගොවි සමිති, ධීවර සමිති එක්ව ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ විකල්ප බලවේගයක් ගොඩනගා තිබෙනවා.

මෙතෙක් කල් රට පාලනය කළ කණ්ඩායම් දෙකට එරෙහිව නව බලවේගයක් ලෙස එය ගොඩනඟා තිබෙනවා.

එම ජාතික ජන බලවේගයේ පාර්ශ්වකරුවන්ගේ අනුමැතියත් සහිතව මෙවර ජනාධිපිතවරණය සඳහා නව අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

අපේ රට විනාශ කළ, කැරකොප්පුවක් බවට පත්කළ පැරණි පාලකයන් පරාජයට පත්කොට නව ගමනක් ආරම්භ කිරීම සඳහා අපි කටයුතු කරනවා.

අපේ රට ණය උගුලක හිරකරපු මේ පාලකයින්ට එරෙහිව ජන බලයක් ගොඩනගනවා. ලබන 18වැනිදා ගෝල්ෆේස් පිටියේ පවත්වන මහ රැලියේදී නව බලවේගයේ අපේක්‍ෂකයා රටට ප‍්‍රකාශයට පත්කරනවා.

පරණ හොරුත් අලූත් හොරුත් පරාජයට පත්කරලා නව විකල්ප බලයක් ගොඩනගන රට හදන අපේක්‍ෂකයා අපි ඉදිරිපත් කරනවා.

රට ඉල්ලන ආගමික නායකයින් නිර්දේශ කරපු අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නේ ජාතික ජන බලවේගයයි. අදුෂිත, පරිපාලන විනයක් සහිත, මූල්‍ය විනයක් සහිත රට ගැන හැඟීමක් තිබෙන දේශපාලන වශයෙන් පරිණත රට ගොඩනැගිය හැකි නායකයා අපි රටට හඳුන්වලා දෙනවා. “

 

Leave A Reply

Your email address will not be published.