ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විටත් රට වැටී ඇති ප්‍රපාතයෙන් ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙලක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිර්මාණය කර ඇති බවත් එම වැඩපිළිවෙල පොදු ජන පෙරමුණට ඉදිරිපත් කර එම ඔවුන්ගේ වැඩපිළිවෙලත් සමඟ සාකච්ඡා කොට රට ගොඩනැඟීමට එකඟතාවය පල කර ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයත් රටේ අනාගතයත් පිළිබඳ සෑහීමකට පත් වීමෙන් පසුව එකඟතාවයකට පැමිණෙන බව මහින්ද අමරවීර මහතා කියා සිටියේය.