රාජපක්ෂලා අවුරුදු 10 ක් ඉඳලත් රට හදන්න බැරි වුණා.. ආයේ කොහොම කරන්නද ?

දස වසරක් බලයේ සිටි රාජපක්‍ෂ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වු බවත් දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බවත් අගමැතිවරයා අද (11) කුරුණෑගලදී කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර කිහිපය තුළ විනාශ වී තිබූ රට විවිධ අභියෝග මධ්‍යයේ යළි ගොඩගෙන සංවර්ධනය කරමින් සියලූ රටවැසියන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟාදීමට පියවර ගත් බවත් එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා ද එසේත් නැතිනම් නැවත විනාශකාරී යුගයකට ඇද දමනවා ද කියා තීරණය කළ යුතු කාලය එළඹතිබෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (11) පෙරවරුවේ කුරුණෑගල නගර සභා ශාලාවේදී පැවැති කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2018 වසරේ වගා හානී වූ ගොවි ජනතාවට වන්දි පිරිනැමීමේ උත්සවයට එක්වෙමිනි.

එහි තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“අද දින මම මෙම ස්ථානයට පැමිණීමට පෙර දිවංගත පාලින්ද දිසානායක මහතාගේ දේහයට ගෞරව දැක්වීමට එතුමාගේ නිවසට ගොඩවුණා. සවස් කාලය වන විට මේ ප්‍රදේශයේ යම් යම් පිරිස් කොළඹ පැවැත්වෙන සම්මේලනයට සහභාගී වෙනවා.

නම වෙනස් කරමින් තමයි එම සම්මේලනය පවත් වන්නේ. එලෙස නම වෙනස් කිරීම පිළිබඳව මා සුභ ප්‍රාර්ථනා කරනවා.

මහින්ද රාජපක්ෂේ පාලනයට වසර 10 ක් රට සංවර්ධනය කිරීමට නොහැකි වුණා. එසේ නම් නම වෙනස් කරමින් බලයට පැමිණ ඔවුන්ට රට සංවර්ධනය කළ හැකි ද කියා මා විමසා සිටිනවා.

යුද්ධය අවසන් වුණාට පසු රටේ සංහිදියාව ඇති වුණේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී තිබුණා.

නමුත් සියලූ අභියෝග මධ්‍යයේ වසර 05 ක් තුළ අපි සංහිදියාව ඇති කරමින් ඉදිරියට පැමිණියා.

රාජපක්ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා. ජී.එස්.පී. ප්ලස් සහනය නැති වුණා. රට ලෝකය හමුවේ හුදකලා වුණා. නමුත් වසර 05 ක් තුළ මේ සියල්ල යළි ගොඩනඟමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකි වුණා.

වසර 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාන කරන්න ඒ පාලකයින්ට හැකි වුණේ නැහැ. එදා මාධ්‍ය නිදහස තිබුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ නැහැ.

සුදු වෑන් සංස්කෘතියක් රටේ ඇති වී තිබුණා. හැම අතින්ම රට පිරිහීමකට ලක්ව තිබුණා. සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළේ නැහැ.

නැවත මෙවැනි විනාශ කාරී යුගයකට ගමන් කරනවා ද එසේත් නැති නම් ගත වූ වසර 05 තුළ සිදු කරගෙන ආ වැඩ පිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් රට දියුණු කර අනාගතය ගොඩනඟා ගන්නවා ද කියා ජනතාව තීරණය කළ යුතුයි.

වසර 10 කින් සංවර්ධනය කිරීමට නොහැකි වූ රට නැවත සංවර්ධනය කළ හැකි ද? ඇඳුම් හා මුහුණ මාරු කිරීමෙන් වෙනසක් සිදු වන්නේ නැහැ. කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. මොනවා කළත් කොබෙයියා රාජාලියෙක් වෙන්නේ නෑ.“

මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ යේ මහලේකම් සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා තරම් දුරදක්නා නුවණින් ක්‍රියා කළ වෙනත් නාකයෙක් ලංකා ඉතිහාසයේ නොසිටි බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවිධ අභියෝග මධ්‍යයේ රට ගොඩනැගීමට පියවර ගත් බවත්, එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන මොහොතක ඇතැම් බලවේග බුදු දහම හා ජාතිවාදය අවුස්සා බලයට පැමිණීමට ජනතාවට මුලාකරමින් සිටින බවත් පෙන්වාදුන්නේය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත් බව මෙහිදී පෙන්වාදුන් කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා මෙවර යල කන්නයේ සිට වී කීලෝවක මිල රුපියල් 05 කින් ඉහළ දමන බව සඳහන් කළේය.

එම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

Leave A Reply

Your email address will not be published.