එක්සත් ජාතික පක්ෂයට නව අරුතක් දියහැකි මට්ටමේ අයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (03) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදිමේ වැඩකටයුතු වෙනුවෙන් එහි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා කියලා කියනවා.
ඒ මහතා ඉදිරිපත්විම ඉතාමත් හොදයි.
ඒ තුළින් එ.ජා.ප. යට කිසිම අභියෝගයක් නැහැ.
ගෝඨාභය මහතා ඉදිරිපත් වුනොත්, එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් ලබාගැනීමට හැකිවේවි.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට මේ වනතෙක් නම් කරලා නැහැ.
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමට, පක්ෂය වෙනුවෙන් කැපවුණ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨයින් එ.ජා.ප. යේ සිටිනවා.
ඕනෑම අභියෝගයක් බාරගන්න මමත් ලෑස්තියි. ඒ සදහා සුදුසුකම්ද සපුරා තිබෙනවා.
නමුත් අපි අපේ මට්ටම තේරුම් අරන් කටයුතු කරනවා” යැයි පැවසීය.