ප්‍රබන්ධ රචනයක් පාදක කරගෙන ලංකාවේදී රක්ෂිත බන්ධනාගාරගත වූ පළමු ලේඛකයා වන්නේ ශක්තික සත්කුමාර ය. ඔහු බන්ධනාගාර ගත කර මේ වන විට දින සියයක් ඉක්මවා ඇත. මේ සිදුවීම පිළිබඳ සමාජයේ විශාල කතාබහක්ද ඇතිව තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධරයෙකු වන ශක්තික සාහිත්‍ය කෘති තිහකට අාසන්න ප්‍රමාණයක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඔහුගේ බිරිය වන යනූෂා ලක්මාලි ද සම්මානනීය ලේඛිකාවකි. මේ ඇය සමග කරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකි.
ඔබේ සැමියා රක්ෂිත බන්ධනාගත වන්නේ කෙටිකතාවක් ලිවීම නිසා. ඔබට ඒ කම්පනය දැනෙන්නේ කොහොමද?
ඒ ගැන කියන්න මට වචන නෑ. ශක්තික කිසිම අපරාධයක් කරපු කෙනෙක් නොවේ. එයා ගමේ ජීවත් වුණු, ගමේ ඉඳල ලියපු ලේඛකයෙක්. හුඟක් කල් ඉඳල පත්තරවලට කවි කෙටිකතා ලියපු කෙනෙක්. පත්තරවල, වෙබ් අඩවිවල එයාගෙ නිර්මාණ පළ වෙලා තිෙයනවා. මේ ප්‍රශ්නයට තුඩු දුන්න කෙටිකතාව එයා මුලින් පළ කළේ ෆේස්බුක් එකේ. ඉන්පස්සෙ ඒක අයින් කරගෙන තිබුණා. ඒ කෙටිකතාවෙන් ආගමට අපහාස වෙනව කියලයි චෝදනාව තියෙන්නෙ. අපි හොඳ බෞද්ධයො. ශක්තික බෞද්ධ කෘති තුනක් පවා ලියල තියනවා. අනෙක ඔහු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධධර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක්. මං හොඳට ම දන්නව ශක්තිකට කවදාවත් ආගමට අපහාස කරන්න ඕන වුණේ නෑ කියලා. එයා කළේ නිර්මාණයක්. නිර්මාණයක් නිසා ආගමකට අපහාස වෙන්නෙ නෑ. ශක්තික වෙන කිසිම වරදක් කළේ නෑ; ප්‍රබන්ධයක් ලිවීම විතරයි කළේ. ඒකට මේ තරම් විශාල දඬුවමක් ලැබීම හරිම අසාධාරණයි.
ඔබ දෙදෙනා දැන හඳුනාගන්නේ කොහොමද?
ශක්තිකත් මාත් මුණ ගැහෙන්නෙ විශ්වවිද්‍යාලෙදි. එකම කණ්ඩායමේ අපි ඉගෙන ගත්තෙ. දෙන්නම කළේ සිංහල විශේෂවේදී උපාධියක්.
ශක්තික සමඟ ඔබේ සම්බන්ධය ගොඩ නැඟෙන්නෙත් ලේඛනය හරහා?
ඔව්. අපි විශ්වවිද්‍යාලයේ දී මුලින්ම හඳුනා ගන්නේ හොඳ මිතුරන් ලෙසයි. බොහෝ පොත් පත් කියවන කෙනෙක් විදියට ශක්තික අපවත් කියවීමට යොමු කළා. මගේ සාහිත්‍ය දැනුම පෝෂණය වන්නේ ඔහුගේ උනන්දු කරවීම මත බව කිව්වොත් නිවැරදියි. මගේ මුල් ම කවිය පත්තරේක පළ වන්නේත් ශක්තිකගේ මැදිහත් වීමෙන්. ඔහු ගේ ඒ මැදිහත් වීමට ඇති කැමැත්ත, ඔහුගේ නිදහස් අදහස් වලට ඇති කැමැත්ත අවසානයේ අපව පෙම්වතුන් බවට පත් කළා.
ඔබේ ලේඛනයට ඔහුගෙන් ලැබුණ සහයෝගය මොන වගේ ද?
මගේ මුල්ම නවකතාව “පාර” ලියැවෙන්නේ ශක්තිකගේ උනන්දු කිරීම නිසයි. ඒ නවකතාවට 2010 ජාතික යෞවන සම්මාන උළෙලේ හොඳම නවකතාව සඳහා සම්මානය ලැබුණා. එදා විශ්වවිද්‍යාලයේ දී ලබා දුන් සහයෝගය අදටත් මට ඔහුගෙන් ලැබෙනවා. විවාහ වුණාට පසුත්, දරුවන් ලැබූ පසුත් එහි වෙනසක් වුණේ නැහැ. ලේඛනයේ දී අප දෙදෙනා අතර විශාල සහයෝගයක් තිබෙනවා. ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ සමහර විට සම්පූර්ණයෙන්ම ඔහු බාර අරගෙන මට ලියන්න අවශ්‍ය නිදහස ලබා දෙනවා. එයාට මගෙන් ලැබෙන සහයට වැඩිය ඔහු මට සහාය වෙනවා කිව්වොත් හරි. මොකද මම ලියනවා පමණයි. ඒවා ටයිප්සෙටින් කරවලා, සෝදුපත් බලලා, ප්‍රකාශකයට ගිහින් දීලා, සමහර විට පොත ගෙනත් මගෙ අතට දෙනකල් මං දන්නෙත් නෑ.
ශක්තික ඔහු ලියන නිර්මාණ ඔබට පෙන්වනවද?
ඔව්. එයා ලියන දේවල් මම සාමාන්‍යයෙන් කියවනවා. මේ කියන කෙටි කතාවත් ලියලා එයා මට පෙන්නුවා.. මට ඒකේ කිසිම වෙනසක් දැනුණේ නැහැ. එය ප්‍රබන්ධයක්, නිර්මාණයක් ලෙසයි මම කියෙව්වෙ. මෙවන් දේකට මුහුණ දෙන්න වෙයි කියලා නිකමටවත් හිතුවෙ නෑ.
ඔහු දැන් දින සියයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව ඉන්නවා. බිරියක් විදිහට ඔබ මුහුණ දෙන අත්දැකීම් ඉතා කටුක ඇති?
ඔව්. මං අසීමිත වේදනාවක් විඳිනවා. කට උත්තරයක් දෙන්න පොලිසියට යනවා කියලයි එදා ඔහු ගෙදරින් ගියේ. මම සුපුරුදු පරිදි සේවයට ගියා. ඒත් දවල් මට හිතවතෙක් කෝල් කරලා කියනවා ඔහු අත්අඩංගුවට ගත්තා කියලා. මට හිතා ගන්න බැරි වුණා. ඔහු කිසි වැරැද්දක් කළ කෙනෙක් නෙවෙයි. කෙටි කතාවක් ලිව්වට එහෙම වෙන්න පුළුවන් ද කියලා හිතුණා. ඔහු තවමත් රිමාන්ඩ් බන්ධනාගාරයේ. මේ දින සිය ගණන පුරාම මට ඒ දැනුණ කම්පනය ඒ වගේම අදත් දැනෙනවා.
මේ අනපේක්ෂිත සිදුවීමෙන් ඔබේ ජීවිතයට එල්ල වූ බලපෑම මොන වගේද?
ශක්තිකයි, මමයි, දරුවෝ දෙන්නයි තමයි මේ ගෙදර ජීවත් වුණේ. එක් වරම ඔහු රිමාන්ඩ් කළාම මමයි දරුවෝ දෙන්නයි අසරණ වුණ විදිය කියා ගන්න මට වචන නෑ. මට වැඩිය ශක්තිකගේ අඩුව දැනෙන්න ගත්තේ දරුවෝ දෙන්නට. මොකද ශක්තික කියන්නේ දරුවන්ට පණ දෙන තාත්තා කෙනෙක්. මුලින් ම මොන්ටිසෝරි යන පුතාට අපි කිව්වේ තාත්තා ලොකු පොතක් ලියන්න කොළඹ ගිහින් කියලයි. ඒත් දවස් කීපයක් යන කොට තාත්තා බලන්න කොළඹ යන්න පුතාට ඕන වුණා. ඊට පස්සේ අපි කිව්වා තාත්තා රට ගියා කියලා. රට ඉඳලා තාත්තා කතා කරන්නේ නැත්තේ ඇයි අහනවා. ඊට පස්සේ පුතා ප්‍රචණ්ඩකාරි විදියට හැසිරෙන්න ගත්ත; සාංකාව හින්දම වෙන්න ඇති. පුතා අසනීප වුණා කිහිප සැරයක්ම; රෝහල්ගත කරන්නත් සිදු වුණා. අන්තිමට පුතාගේ පරිසරය වෙනස් කරන්න තීරණය කරලා පුතාව මගේ අම්මත් එක්ක මගේ මහගෙදරට යැව්වා. දැන් ගෙදර ඉන්නෙ මායි, අවුරුදු එක හමාරක් වයස පුංචි දුවයි විතරයි. එහෙම බලනකොට මේ සිද්ධිය නිසා අපේ පුංචි පවුල සී සී කඩ විසිරිලා. මේ වේදනාව මට දැන් දරා ගන්න බැරි තරම්.
මේ සියලු දේ අතර ශක්තික ගේ හිතට ඔබ ශක්තියක් වන්නේ කෙසේ ද?
ඒක තමයි අසීරුම කාරණය. ශක්තික බන්ධනාගාර ගත වෙද්දී දුව ඇවිදින්නේ නැහැ. ඔහු බලන්න ගියාම අහනව දැන් දුව ඇවිදිනව ද කියලා. ඔව්, දැන් දුව ඇවිදිනවා කියන වචන ටික කියා ගන්න මම කෑගල්ලෙ බන්ධනාගාරෙට යනවා. එතනදි ශක්තිකව බලන්න ලැබෙන්නේ විනාඩි 5- 10ක් විතර. ඒකත් දැලකින් එහා පැත්තේ ඉඳලා. හරියට මුහුණවත් පේන්නේ නැහැ. තවත් අය කතා බහ කරන ඒවා අතරින් අපිට අපි කතා කරන ඒවා පැහැදිලි නැහැ. මම දන්නේ නැහැ, මම “දුව දැන් ඇවිදිනවා” කිව්ව එක එයාට ඇහුණ ද වත් කියලා. දරුවන්ට තදින්ම ආදරේ කරපු තාත්ත කෙනෙක් අපරාධයක්, වැරැද්දක් නොකර මේ විදියට දරුවො දකින්නෙ නැතිව ඉන්න වෙන එක කොච්චර කටුක වේදනාවක් ද?
ශක්තික පිළිබඳව බොහෝ කතා බහ ඇති වෙනවා. ඔහු නිසා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා. ලේඛිකාවක ලෙස ඔබ මේ ප්‍රවණතාව දකින්නේ කොහොමද?
ශක්තික ලිව්වේ කෙටි කතාවක්. ප්‍රබන්ධය හා යතාර්ථය අතර වෙනස ලියන කියවන අයට අමුතුවෙන් කියා දිය යුතු නැහැ. මම ලේඛිකාවක් විදිහට මේ තත්ත්වයේ බරපතළකම දකිනවා. ඊයෙ මේක ශක්තිකට වුණා. හෙට මටත්, තවත් ලේඛකයකුටත් මේ දේ වෙන්න පුළුවන්. එදා මෙදා තුර බිහි වූ ආන්දෝලාත්මක නිර්මාණ නිසා ලේඛකයෝ සිර ගත වුණා නම් බන්ධනාගාර ලේඛකයන් ගෙන් නිර්මාණකරුවන් ගෙන් පිරී තියේවි. ඒත් ඒක එහෙම වුණේ නැහැ. එවන් නිර්මාණ වාරණය වූ අවස්ථා අප දැක තිබෙනවා. එ්ත් ලේඛකයකු මේ විදිහට බන්ධනාගාර ගත වුණේ නෑ. මෙය ශක්තිකට සිදු නොවී වෙනත් ලේඛකයකුට වුණත් වෙන්න තිබුණා. ඒ නිසා මෙවන් කතිකාවක් ඇති වීම, විශේෂයෙන් අයි.සී.සී.පී ආර් පනත පිළිබඳ කතාබහක් ඇති වීම වටිනවා.
ශක්තික නිදහස් කරගැනීම වෙනුවෙන් දේශීයවත්, අන්තර්ජාතික වශයෙනුත් විවිධ සංවිධාන, ලේඛකයන්, කලාකරුවන් එක් වෙලා ඉන්නවා. මම ඔවුන්ට හුඟක් ස්තුතිවන්ත වෙනවා. මට ඔවුන් ශක්තියක්.. ඒ සමඟ ම මම දන්නවා ඒ හඬ ශක්තික වෙනුවෙන් විතරක් නෙමෙයි, සමස්ත ලේඛකයන් වෙනුවෙන් ම කියලා.
මේ සිදුවීමත් සමඟ අවට සමාජය දක්වන ප්‍රතිචාරය මොන වගේද?
මට දරා ගන්න අමාරුම දේ ශක්තිකට ඇප දෙන්නෙ නැත්තෙ ඇයි කියලා මිනිස්සු අහන එක. ඒ හුඟක් අයට අයි.සී.සී.පී ආර් පනත ගැන අවබෝධයක් නෑ. ශක්තික ඇප දෙන්නවත් බැරි තරම් විශාල අපරාධයක් කරලා වගේ තමයි හිතන්නේ. එහෙම වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මේ දේවල් ගැන දැනුමක් නැති නිසා. ඒත් දැන් හුඟක් අය මේක ගැන දැනුවත් වෙලා මාත් එක්ක කතා බහ කරනවා. මේ ගැන කණගාටුව පළ කරනවා.
සංවාදය – ක්‍රිසාන්ති විතාරණ
සිළුමිණ