ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ වැඩි භට පිරිස් ප්‍රමාණයක් යොදවා ආරක්ෂාව තහවුරු කර ඇතැයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරනවා.
අද දිනයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබා පාබල රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සිදු කරන ලද කොප්පරා දානමය පින්කම සඳහා එක්වෙමින් හමුදාපතිවරයා මෙම අදහස් පළ කලා.
වසර කිපයක් පුරා මෙය සිදු කරන අතර මෙවර , 6 වන සැමරුම වන බවත් ටොන් 6කට අධික ප්‍රමාණයක් ඇසල පෙරහැර සඳහා කොප්පරා පරිත්‍යාග කළ බවත් හමුදාපතිවරයා සඳහන් කලා.
මියගිය අයගේ හා ආබාධිත රණවිරුවන්ට නිරෝගී සුවය පතා මෙය සිදු කරන බවත් වසරක් පුරා නිර්මාංශික වෙමින් මෙය ඉටු කරන බවත් යුද හමුදාපතිවරයා පැවසුවා.
යුද හමුදාවෙන් සිදු කරන කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
රටේ හදිසි නීතිය ඇති මොහොතක, යුද හමුදාවට විශේෂ කාර්යයක් ඇති බවත් සඳහන් කර සිටි හමුදාපතිවරයා, ඒ සඳහා විශේෂ භට පිරිස් එවා පොලීසිය හා එක්ව ආරක්ෂාව තහවුරු කර ඇති බව ප්‍රකාශ කළා.
එනිසා කිසිදු බියකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹීමට ජනතාවට මහනුවරට පැමිණෙන ලෙස ද හමුදාපතිවරයා මෙහිදී පවසා සිටියා.
ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ රට රකින ජාතියක් වන බවත් පැවසු හමුදාපතිවරයා, එනිසා නිසැකයෙන්ම යුද හමුදාව ඒ වෙනුවෙන් කැප වෙන බවත් කියා සිටියා.
නැවත වතාවක් තමා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාවට කැඳවීමට නියමිත බව පත්තරවල පමණක් වාර්තා වු බවත් ඒ ගැන තමාට ලිඛිතව දැනුම් දීමක් සිදු කර නොමැති බවත් යමුදාපතිවරයා සඳහන් කල අතර ශ්‍රී ලංකා යුද හමුදාව හා පොලීසිය මෙන්ම සෙසු හමුදාවන් රටේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවත් මේ වන විට රට යථා තත්ත්වයට පත්ව ඇතැයි ද වැඩිදුරටත් කියා සිටියා..
රටේ සෑම අවස්ථාවකම සංස්කෘතික අංගයන් පෝෂණයට යුද හමුදාව කැප වෙන බවත්, ඒ අනුව අංගම්පොර සටන් කලාව වෙනුවෙන් සංස්කෘතිකාංගයක් ඇසල පෙරහැර වෙනුවෙන් ඉදිරිපත් කිරීමට යුද හමුදාව ඉදිරිපත් වෙන බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කළා.