මම පිටකොන්දක් තියෙන නායකයෙක්

ඇතැමුන් අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අප්‍රේල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවෙන් විනාශ කර දැමුවා පමණක් නොව අදාළ සිදුවීමට ඉඩ සැළසුණු සියලූ කරුණු පිළිබඳ මේ වන විට අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණ සිදු කෙරෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

එබැවින් පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගෙන අප්‍රේල් 21 සිදුවීම පිළිබඳ තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමා සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ,සත්විරු අභිමන් 2019, රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින්.

එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ තමන්ගේ නිල කාලය අවසන් වු පසු ධුරයෙන් සමු ගන්නා බවත් එසේ නැතිනම් ඡන්දයකට මුහුණ දීමට අවශ්‍ය නම් නැවත ඒ සඳහා කටයුතු කරන බවත්ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තමා සෑම ආගමකටම ගරු කරන නායකයෙකු වන අතර සෑම ආගමික නායකයෙකුටම වන්දනා කරන බවයි.

යම් ප්‍රශ්නයක් තිබේනම් ඕනෑම අයෙකුට විවෘතව තමා සමඟ සාකච්ඡා කළ හැකි අතර අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවද එය සිදුකළ හැකි බව ජනාධිපතිවරයා කියා සිටියා.

තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කලා.

පැවති රජයේ මෙන්ම පවතින රජයේ ද වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පිහිටෙව්වේ පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව පැවසූ ජනාධිපතිවරයා ජාවාරම්කරුවන්, පාතාලයින්, අපරාධකරුවන් සහ දූෂිතයන් සමඟ තමා සටන් වදින්නේ ද පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව කියා සිටියා.

මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පිටකොන්දක් ඇති අය සිදු කළ යුත්තේ විවේචන සිදු කිරීම නොව ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගෙන් රට ගලවා ගැනීමට ගෙන යන සටනට සහය ලබාදී රට ගොඩනැගීමට එක්වීම බවයි.

විවේචන අවශ්‍ය වුවත් එය රට සහ ජනතාව නොමඟ යවන සහ ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන බරපතළ විවේචන නොවිය යුතු අතර, අද එම විවේචන කරන සියලූ දෙනා පාවා දෙන්නේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය හමුවේ අපගේ විරෝධාර රණවිරුවන් ප්‍රමුඛ සමස්ථ ආරක්ෂක අංශ දිවි පරදුවට තබමින් ඉටුකළ විශිෂ්ට මානුෂික මෙහෙවර බව ද කියා සිටියා.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 කණගාටුදායක සිදුවීමෙන් මිය ගිය සියලූදෙනා පිළිබඳ තම හදවත් තුළ ඇති වේදනාව එදා මෙන්ම අද දවසේ ද එලෙස ම බවත් එය කිසිදා අමතක කළ නොහැක්කක් බවයි.

තිස් වසරකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කළ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් සුබසාධන ප්‍රතිලාභ ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ රණවිරු දරුවන් 1504ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ ලබාදීම සිදු වුනා.

ඒ අනුව සම්පූර්ණ නිවාස 25ක්, අඩක් නිමවු නිවාස සම්පූර්ණ කරදීමේ ප්‍රතිලාභ 925ක්, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යාධාර 308ක් සහ පදිංචිය සඳහා ඉඩම් කොටස් 246ක් ලබාදීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක වුනා.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave A Reply

Your email address will not be published.