Update .. ජාතික රූපවාහිනියට සභාපතිවරු දෙදෙනෙක්

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස මේ වන විට කටයුතු කරමින් සිටින්නේ, ඉනෝකා සත්‍යාංගනී මහත්මිය වන අතර, කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් පසුගිය ජූලි මස 18 වන දින ලිපියක් නිකුත් කරමින් සංජීව විජේගුණවර්ධන මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

මෙම පත්වීම අනුව, අද(22) දිනයේ දී නව පත්වීමේ වැඩ බාර ගැනීමට සංජීව විජේගුණවර්ධන මහතා රූපවාහිනී පරිශ්‍රයට ගොස් තිබුණද , තමා ධූරයෙන් ඉවත් කර ඇතැයි කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බව පවසමින් රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය, සංජීව විජේගුණවර්ධන මහතාට අසුන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන්, ජුලි මස 8 වන දින ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දී නොමැති බවයි.

මීට පෙරද රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් සුදර්ශන ගුණවර්ධන සහ ශාන් විජේතුංග යෝජනා කළ නමුත් ඒ නම් ද ප්‍රතික්ෂේප වී තිබුණා.

Leave A Reply

Your email address will not be published.