අපේ නායකයින්ගේ කොන්ද පණ මදි – කාදිනල් හිමියන් Video

අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර වුවමනා එපාකම් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට සිදුකළ ප්‍රහාර මාලාවක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද විවෘත කළ අවස්ථාවේ දී කාදිනල් හිමියන් මෙම අදහස් ප්‍රකාශ කළේය.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ එක් ඉලක්කයක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද නැවත බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරුණි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජාව ආරම්භ කෙරුණේ උදෑසන 8ටයි.

දිව්‍ය පූජාවෙන් අනතුරුව පැමිණ සිටි බැතිමතුන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබා ගත්තේය.

එම අවස්ථාවේ වැඩිදුරටත් සිය අදහස් දක්වමින් කාදිනල් හිමියන් ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වග කිව යුතු නැති බවත් මෙය රට තුළ කෝලාහලයක් ඇති කර විදෙස් රට වල අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නොමඟ ගිය තරුණ පිරිසක් යොදා ගෙන සිදු කළ ප්‍රහාරයක් බවයි.

නායකයින් විදෙස් බලවේගයන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරමින් සිටින බවත් සශ්‍රීක භූමියක්ව පැවති රට ශක්තිමත් කිරීමට ඔවුන් උදවු කළ යුතු බවත් ඒ හිමියන් සඳහන් කළේය.

ඉතාමත්ම ශක්තිමත්ව පැවති බුද්ධි අංශය වත්මන් ආණ්ඩුව විසින් අඩපණ කළ බවත් එසේ සිදු කළේ ජාත්‍යන්තරයේ වුවමනා එපාකම් වෙනුවෙන් බවත් වැඩිදුරටත් කාදිනල් හිමියන් ප්‍රකාශ කළේය.

විවිධ විදෙස් සංවිධාන, ස්වෙච්ඡා සංවිධාන සන්තෝශ කිරීමට බුද්ධි අංශ අඩපණ කළ අතර වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අන්තවාදීන් හසුවු තැන කිසිදු දෙයක් නොකට ඔවුන් නිදහස් කර යැවු බවට කාදිනල් හිමියන් චෝදනා එල්ල කළේය.

මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ අවස්ථාවේ ඔත්තුව ලබා දුන් පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර වරදකරුවන් නිදහස් කර සියල්ල දේශපාලන නායකත්වය විසින් යට ගැසූ බවට ඒ හිමියන් දෝෂාරෝපණ එල්ල කර සිටියි.

ඔක්තෝබර් මාසයේ සිට විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තිබු අරගලය හේතුවෙන් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් නොපැවැත්වු බවත් ප්‍රහාරය පිළිබඳ ලැබුණු ඔත්තු නායකයින් විසින් තුට්ටුවකටවත් මායිම් නොකොට අත්හැර දැමූ බවත් කාදිනල් හිමියන් දැඩි විවේචන එල්ල කළේය.

මේ සියල්ලටම වග කිව යුතු රජය ඉක්මනින් ඉවත් වී රට පාලනය කළ හැකි පිරිසකට රට භාර දිය යුතු බවට කටුවාපිටිය දෙව් මැඳුරේ දී සිය අදහස් දක්වමින් අති උතුම් මැල්කම් රංජිත් හිමියන් කියා සිටියේය.

අනුග්‍රහය – අද දෙරණ

Leave A Reply

Your email address will not be published.