රුපවාහිනිය දැඩි අර්බුදයක.. විකාශය නතර වේදැයි සේවකයින් බියෙන්.. මෙන්න හේතුව

පසුගිය මාස 03ක කුලී මුදල් නොගෙවීම හේතුවෙන් රාජගිරියේ පිහිටි Fairway Holding නිවාස සංකීර්ණයේ සවිකර ඇති ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ප‍්‍රතිවිකාශන කුළුනේ විදුලි සැපයුම එම ආයතන බලධාරීන් විසින් අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් මේ වනවිට කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලට ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන්ගේ පැහැදිලි දර්ශන ලබා ගැනීම අසිරු කටයුත්තක් බවට පත්ව තිබෙනවා.

එමෙන්ම පිදුරුතලාගල විකාශන මධ්‍යස්ථානයේ කුලී මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී එම බලධාරීන් පියවර ගතහොත් ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන් පේ‍්‍රක්ෂකයන්හට නැරඹීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වනු ඇතැයි රුපවාහිනී සේවකයින් පවසනවා.

ක‍්‍රිකට් ලෝක කුසලාන තරග විකාශය මිලදී ගැනීමට රුපියල් මිලියන 350ක මුදලක් ද, රුපියල් මිලියන 280ක බැංකු අයිරා ද, ටෙලිනාට්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 60ක් ද සංස්ථාව විසින් ගෙවීමට තිබෙනවා.
මේ වනවිට ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් විසින් සංස්ථාව වෙත එන්තරවාසි ද යවා ඇති අතර සංස්ථාව විසින් මෙම ණය පියවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටීමේ සුදානමක් පවතින බවයි සැලවන්නේ.

සේවකයින් 1000ක් පමණ සේවයේ නිරත වන සංස්ථාවේ සේවක වේතන සඳහා පමණක් මසකට රුපියල් මිලියන 80ක මුදලක් අවශ්‍ය වනවා. මාසික වියදම රුපියල් මිලියන 220 ඉක්මවන සංස්ථාවේ මසකට උපයන ආදායම රුපියල් මිලියන 100 – 120 පමණ වෙනවා. ඒ අනුව මසකට රුපියල් මිලියන 100 පමණ හිඟයක් ඇති බැවින් මාස ගණනක හිඟමුදල් පියවීමට රූපවාහිනී සංස්ථාවට දැනටමත් සිදුව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ පසුගිය මැසි මස සේවකයන්ගේ වේතන ගෙවීම් ප‍්‍රමාද වීමක් පැවති අතර ජූනි මස වේතන ගෙවීමේ ද ප‍්‍රමාදයක් පවතිනවා.
රුපවාහිනිය තවදුරටත් පවත්වා ගන්නේ කෙසේද යන්න අර්බුදයක් බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Leave A Reply

Your email address will not be published.