හජ්ජි වන්දනාව සඳහා ලංකාවට ලබාදෙන වීසා ප්‍රමාණය වැඩිකෙරේ

වාර්ෂිකව හජ්ජි වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන 3500යේ හජ්ජි වීසා කෝටා එකට අමතරව මේ වසරේදී තවත් අලුතින් විසා 500ක් ලබාදීමට සෞදි අරාබි රජය කටයුතු කර ඇති බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පවසයි.

ඒ අනුව මේ වසරේ සිට ශ්‍රී ලංකාවට ලැබෙන හජ්ජි වන්දනා වීසා ප‍්‍රමාණය 4000 දක්වා ඉහළ යන බවද ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටී.

මේ වසරේ ලබාදුන් වැඩිපුර වීසා ප‍්‍රමාණය ඉදිරිපත් වී ඇති අයදුම්පත් ප‍්‍රමාණයේ පොරොත්තු ලේඛනයේ අනුපිළිවෙලට ලබාදීමට රජය ක‍්‍රියා කරන බවද හෙතෙම පැවසීය.

ප‍්‍රථම වතාවට මෙම වසරේ හජ්ජි වන්දනාව සඳහා පිටත් වන බැතිමතුන් හට අන්තර් ජාල පහසුකම් මගින් මාර්ගගත (ONLINE) ක‍්‍රමවේදයට අනුව පහසුකම් සලසා ඇති බවද තානාපතිවරයා කීය.

ආරක්ෂාව,සෞඛ්‍ය සහ අනෙකුත් කරුණු සඳහා ශ්‍රී ලංකාවෙන් පුහුණු කණ්ඩායමක් යැවීමටද තීරණය කර ඇති අතරම සෞදි රජය මගින්ද ලක්ෂ සංඛ්‍යාත හජ්ජි බැතිමතුන් සඳහා ආරක්ෂාව සමගින් සියලුම පහසුකම් සෑම වසරකම සපයන බවද අස්මි තාසීම් මහතා කියා සිටී.

කෙසේ වුවද හජ්ජි වන්දනාව සඳහා පිටත්වන සියලුම බැතිමතුන් ලියාපදිංචි බලපත‍්‍ර හිමි නියෝජිත ආයතනයක් මගින් අදාළ ලිපි ලේඛන සමඟ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු වන බවද ශ්‍රී ලංකා තානාපතිවරයා පෙන්වා දේ.

මෙම කෝටාව ශ‍්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට හිමි කර ගැනීමට සෞදි රජය සල්මන් රජතුමන්ට හා එරට හජ්ජි සහ උම්රා අමාත්‍ය මොහොමද් සාලි බෙන්තින් මැතිතුමා වෙතත් ශ‍්‍රී ලංකා රජයේ විශේෂ ස්තුතිය පළ කෙරෙන බවද තානාපතිවරයා කියා සිටියේය.

lankadeepa

Leave A Reply

Your email address will not be published.