අපි ඇය පියුමි යැයි හඳුන්වමු. පියුමි කඩිසරය. දුව පැන සෙල්ලම් කරන්නේ, කට උල් කරමින් ගීයක් ද ගයන අතරේය. බෝනික්කන් හට්ටි මුට්ටි ළංකර ගන්නා ඇය, කොයිවේලෙත් සෙල්ලම් ගෙවල් දමන්නීය.
ඇයට වඩා තරමක් වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියද ඔවුන් සෙල්ලම් කරන වයසේ නොවීම නිසාම ඇය අහල පහල පුංචි පැටව් රැසක් සෙල්ලමට සූදානම් කරගෙන සිටියාය. බාල සන්දියේ පටන්ම කෙළිදෙලෙන් දුව පනින ඇය, පෙර පාසලේදී ද කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ගුරුභවතුන්ගේ හොඳ හිත දිනාගැනීමට සමත් ව සිටි පියුමි ලොකු ඉස්කෝලේ යන්නට ඇඟිලි ගනිමින් සිටියාය.
ඇය ඉතාම ප‍්‍රසන්නය. දකින කවුරු වුවද ඈ පිළිබඳව විමසිලිමත් වන්නේ, ඇය තැනට සුදුසු පරිදි කටයුතු කිරීමට තරම් හපනියක් නිසාය.
මේ සා හුරුබුහුටි කෙළිලොල් දැරිය ලොකු ඉස්කෝලෙට යන්නේ ගුරුවරුනට දැඩි ඇල්මෙනි. ඇය මෙවර පහවසර ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වනු ඇතැයි යන්නද දෙමව්පියන් තුළත් වැඩිමහල් සහෝදර සහෝදරියන් අතරත් තිබුණේ නොනිමි අපේක්ෂාවකි.
නමුත් පියුමි මේ වසරේ ජනවාරියේ සිට වරින් වර විවිධ අසනීප තත්ත්වයන් කියා බලාගත්වන බලා ඉන්නට හුරු ව සිටියාය. පාසල් වැඩ කටයුතු පවා වෙනදා තරම් උනන්දුවකින් නොකරන බැවින් ඒ මන්දැයි විමසා බැලීමට ගුරුවරු ද කටයුතු කර තිබිණි.
පියුමි හිටිහැටියේ වමනය දමන්නීය. තවත් වරෙක බඩ අල්ලාගෙන කෑ ගසන්නීය. තවත් විටෙක පපුවේ අමාරුවක් කියා පාසල් යෑම මගහරින්නට තැත් කරන්නීය. මේ තත්ත්වයන් දිගින් දිගටම සිදුවන අතර වාරයේ යාබද පාසලක වැඩිමහල් සිසුවියක දිනක් පියුමි පාසල් වෑන් රථයේ සිටියදී රියදුරුගේ දැඩි ග‍්‍රහණයකින් සිටිනු දැක ඒ බව ගුරුවරියක සමග කියා සිටින්නීය.
නැවතත් කෙටි කලක් ගත වූයේ පියුමිගේ විවිධ රෝගී තත්ත්ව වෛද්‍ය පරීක්ෂණ සඳහා ද යොමු කරන අතරවාරයේය. සෑම රෝගි පරීක්ෂණ වාර්තාවක්ම සාමාන්‍ය තත්ත්වයේ බවට තහවුරු ව ඇතැයි වෛද්‍යවරු දිගින් දිගටම දෙමව්පියන් වෙත දැනුම් දී තිබිණි. එහෙත් පියුමි පවසන පරිදි ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් නැත. සෑම දිනෙකම කුමක් හෝ ලෙඩක් කියන්නට ඇය හුරුව සිටියාය.
”ඔය විභාගෙට බය නිසාද කොහෙද…”
”ගෙදර ඉඳන් සෙල්ලම් කරන්න හිතිලාද කොහෙද..”
ආදි විවිධ හේතු කාරණා නිවසහි අම්මාගෙන් තාත්තාගෙන් අක්කාගෙන් අයියාගෙන් ඇසෙද්දී පියුමි නිහඬව සිටියාය. ඇය කුමක් හෝ හිතේ සඟවාගෙන සිටින බවක් සිය මවට දැනුන හෙයින්, වරින් වර ඒ වග විවිධ අන්දමින් විමසා සිටියද පියුමි යටි සිත කිසි විට අවදි නොකළාය.
පාසලක ගුරුභවතුන්ගේ ඉතා හොඳ කැපවීම සනාථ වන හොඳම අවස්ථාව පියුමිගේ යටිසිත මතු කර ගැනීමට හැකිවීමය. ඇය දිනපතා පාසල් වැඩ අතපසු කරන අන්දම පන්තිභාර ගුරුතුමියගේ නොසතුටට හේතුව තිබිණි. ඇය එබැවින් පියුමි ළඟට ගෙන විවිධ උප්පරවැට්ටි දමා හිත තුළ කැකෑරෙන හිත තුළ තෙරපෙන පීඩාව එළියට ගැනීමට තැත් කළාය. සෙසු දියණියන් සමග කාර්යය බහුල අධ්‍යාපන රටාවත් මත, පන්තිභාර ගුරුතුමිය පියුමිගේ යටිසිතේ තෙරපෙන පීඩාව සොයා දැනගන්නට පාසල් උපදේශන භාර ගුරුතුමියට භාර කළාය.
ඇය දේවත්වයෙන් සැලකිය යුතු ගුරුවරියකි. දිනෙන් දින පියුමි සමග හොඳින් මිත‍්‍ර වූ ගුරුවරිය ඇයගේ හිතේ පීඩාව දැන ගත්තාය.
පියුමි දැනට වසරක පමණ සිට පාසල් වෑන් රථයේ රියදුරුගේ අතවරයට ලක්ව සිටියාය. මුල් අවස්ථාවලදී සාමාන්‍ය පරිදිත් කල් යත්ම බරපතල ලෙසත් අතවරයට පත්ව සිටි ඇය රියදුරුගේ බිය වැද්දීම් හා තර්ජනයන්ට බිය වී මේ කිසිවක් කිසිවෙකුට නොකියා සිටීමට තරම් සූක්ෂමව සිටියාය.
”කිව්වොත් මගේ අම්මාව මරයි කියලා මං බය වුණා…. නැත්නම් මාව මරයි කියලා මං බය වුණා…”
පොඩිකමට පියුමි තමන්ගේ හිතේ තියෙන බය පිටකළේ පොලිස් නිලධාරීන් සහ වෛද්‍යවරු ඉදිරිපිටදී පමණයි.
මේසා මල් වැනි පුංචි මල්කැකුළු තලා පෙලා දමන්නට තරම් කුරිරු හදවත් ඇති නොනිමි ආශාවන්ගෙන් පෙලෙන පිරිමින් මේ මහ පොළවට බරක්මය. හමුදා සේවයෙන් විශ‍්‍රාම ගෙන සිය බිරිඳ ද සමග පාසල් වෑන් රථ සේවයේ යෙදී සිටින මොහු සිදුකරන්නේ සේවයක් නොවේ. වයස අවුරුදු පනස් පහක් වන විට හෝ තමන්ගේ ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහා, පුංචි දැරියන් යොදා ගන්නට සිතක් පහල වීමම පාපයකි. දැන් මේ රියැදුරු පාපය ගෙවන්නේය.
මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත‍්‍රාත් 11 හි මහෙස්ත‍්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය විසින් ලබන දොළොස්වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.
පියුමි ගේ ජීවිතය රැක ගැනීම වැඩිහිටියන්ගේ වගකීම බව සැබෑය. එහෙත් දරුවකුගේ ජීවිතය සහ ආරක්ෂාව පිළිබඳ භාරගන්නා වැඩිහිටියෙකු මේ මා සතුව ඇත්තේ අනාගත මවකගේ වගකීම නොවේදැයි නොසිතන්නේ කෙසේද…? තම මව, බිරිඳ හෝ දියණියන් පිළිබඳ මතකය සහ ඔවුන් වෙනුවෙන් හදෙහි උපන් සැබෑ ආදරය වැඩිහිටි පිරිමි සතුව නැතිවීමම මෙවන් පාපතර හැඟීම් ඉපදීමට හේතුවනු ඇත. අද ඇත්තේ කොසොල් රජු දුටු සිහින සැබෑවන යුගයක් බව මෙවන් සිදුවීම්වලින් සනාථ වන්නේය.
සමන්තී වීරසේකර – දිවයින