කතරගම පාදයාත්‍රාවට යුද හමුදාපති එක්වෙයි..

වාර්ෂික ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පා ගමනින් කතරගම වෙත පැමිණෙන උතුරු හා නැගෙනහිර පළාත් බැතිමතුන් අඟහරුවාදා (9) දින උදෑසන යාල ජාතික වනෝද්‍යානය හරහා ලින්තුන වරහන නැමැති ප්‍රදේශයට ලඟා වන විට ඔවුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සම්ප්‍රදායානුකූලව ආගන්තුක සත්කාර ලබාදෙන ලදි.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක එම ස්ථානයේ හදිසි සංචාරයක් සිදුකරමින් එම ප්‍රදේශයේ රාජකාරියේ නිරත 12 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අනුග්‍රහකත්වය යටතේ එම බැතිමතුන් වෙත කෙටි ආහාර වේලක් ලබාදීමට එතුමන්ද සහභාගී විය.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ‘පාද යාත්‍රා’ වන්දනා චාරිකාව සඳහා පැමිණි බැතිමතුන් සමඟ සුහඳ පිළිසඳරක යෙදෙමින් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර එහිදී පාදයාත්‍රාව තුළදි ඔවුන් ලැබූ අද්දැකීම් පිළිබඳව ද විමසුහ.

12 වන සේනාංකයේ සහය ඇතිව මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම සංග්‍රහය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මඟපෙන්වීම යටතේ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ද සහභාගි විය.

මේ අනුව එම ‘පාද යාත්‍රා’ වන්දනා චාරිකාව වෙනුවෙන් සහභාගි වු 1500 කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන් වෙත ලබා දුන් ආගන්තුක සත්කාර සතුටින් භුක්ති විද නැවතත් කතරගම දෙස බලා ඔවුන්ගේ වන්දනා චාරිකාව ආරම්භ කළ අතර එහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකද එම චාරිකාවට එක්විය.

මෙම වන්දනා චාරිකාවට සහභාගි වු යුද්ධ හමුදාධිපතිතුමන් එම ‘පාද යාත්‍රා’ වන්දනාකරුවන් සමඟ කිලෝමීටර් 5 ක් පමණ දුර ගමන් කළේය.

මෙයට සමඟාමීව මෙම වන්දනා පා ගමනට සහභාගි වන වන්දකරුවන්ට අවශ්‍ය වෛද්‍ය ආධාර ඇතුළු අනෙකුත් වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා යොදවා තිබු සිවිල් වෛද්‍ය සංවිධාන වල සාමාජිකයින් හමුවීමටද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි කටයුතු කළේය.

මෙම අවස්ථාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිළයින් රැසක්ද සහභාගි විය.

– Army media

Leave A Reply

Your email address will not be published.