ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමක් නෑ.. ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත‍්‍රීට දෙන්නේම නෑ….- පොහොට්ටුව නිල වශයෙන් කියයි..

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් නව සන්ධානයක් යටතේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සඳහා තරග කිරීමට තම පෙරමුණ කිසිදු තීරණයක් ගෙන නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එවන් කිසිදු එකඟතාවයක් හෝ තීරණයක් ගෙන නැති බවයි.

එමෙන්ම ජනාධිපති අපේක්‍ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට කිසියම් ආකාරයක සාකච්ඡාවක්වත් පවත්වා නැති බවද ඔහු කියා සිටියේය.

මෙම පක්ෂ දෙක අතර කිසිවිටෙකත් එක් වීමක් සිදුවන්නේ නැතැයි පොදුජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා තහවුරු කළ බවද ඔහු කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකම අරමුණින් නම් පැවැත්වෙන සාකච්ඡා වල කිසිදු පලක් නැති බවද සේමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යන නමින් මීලග සියලු මැතිවරණ සඳහා තරග කරන බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රබලම නායකයෙකුගෙන් අප කල විමසීමකදී ඔහු කියා සිටියේද එක්ව තරග කිරීම සදහා කිසිදු එකගතාවක් නැති බවත් එවන් එකගතාවක් ඇති වෙතැයි විශ්වාස කල නොහැකි බවත්ය. ජනාධිපති අපේක්‍ෂකත්වය පොහොට්ටුවෙන් පිට කිසිවෙකුට නොදෙන බවද ඔහු තහවරු කලේය.

Leave A Reply

Your email address will not be published.