තමන්ගේ දර්ශනය විශ්වාස කර රටේ ජනතාව එයට ශක්තිය ලබා දෙනවා නම් ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙකු ඉටු නොකළ සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට තමන් සුදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ “සඳහසගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද(04) දින සහභාගී වෙමිණි.
ජනතා ගැටළුවලට විසදුම් ලබාදී ඔවුන්ට ශක්තිමත් ජන ජීවිතයක් උදා කර දීම තමන්ගේ ‘දිව්‍ය ලෝකය’ ලෙස සළකන බවත්, ජනතා කර මතින් බලයට පත්ව වංචා, දූෂණ සිදුකර රාජ්‍ය දේපළ විනාශ කිරීම ‘අපාය’ ලෙස සළකන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, අපාය හා දිව්‍ය ලෝකය කුමක්දැයි නිසිලෙස අවබෝධ කරගන්නා ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
කුඹුරු ඉඩම් සඳහා ඔප්පු ලබා ගැනීමේදී එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක්ද, ගොඩ ඉඩම් සඳහා ඔප්පු ලබා ගැනීමේදී එක් අයෙකුගෙන් රුපියල් 10,000/= ක්ද පසුගිය පාලකයින් අයකර ගත් බවත්, වත්මන් රජය කුඹුරු ඉඩම් හා ගොඩ ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේදී රුපියල් 250/= ක් පමණක් නාමිකව අය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 212 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
“සඳහසගම” උදා ගම්මානය නිවාස 24 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 214 කි.
පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.
ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 72 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම නොමිලේ ලබාදීම, පවුල් 600 කට මහවැලි සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 26 ක් සඳහා රුපියල් ලක්ෂ 52 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, පවුල් 12 ක් සඳහා රුපියල් ලක්ෂ 60 ක් වටිනා ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 55 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 27 ක් වටිනා ප්‍රතිලාභ, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 108 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, ස්වයං රැකියා ණය ප්‍රදානය සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විණී.
– අද දෙරණ