ලංකාව තුළ අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කරන්න කිසිදු සැලැස්මක් නැති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය කියයි
ශ්‍රී ලංකාව තුළ අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ අවශ්‍යතාවක් නොමැති බව අමෙරිකාව පවසයි.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සාකච්ඡා පවතින්නේ සහයෝගය සැපයීමේ අරමුණ සඳහා පමණක් බවයි.
එමෙන්ම ඕනෑම එකඟතාවක් තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සම්පුර්ණයෙන් ගරු කරන බව ඇය සිය පණිවිඩයෙන් දක්වා ඇත.
දෙරට අතර අත්සන් කිරිමට නියමිත ද්වීපාර්ශවික ගිවිසුම හෙවත් සෝෆා ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානී සිදුවන බවට පල වී ඇති වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මෙම පණිවිඩය නිකුත් කර තිබේ.
අදාළ ගිවිසුම මඟින් අමෙරිකානු හමුදාවට මෙරට තුළ නිදහසේ කටයුතු කිරීමටත් භාණ්ඩ රැගෙන ඒමටත් මෙරට නීතියට යටත් නොවී හමුදාමය කටයුතු පවත්වාගෙන යාමටත් අවසර ලැබෙන බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.