මාරාන්තික උපවාස කිරීම නිගන්ඨයන්ගේ ක්‍රියාවක්. බුදු දහමට අපහාසයක්-අගමැති

තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නැති නිගන්ඨ නාථගේ ධර්මයට අනුකූල ක්‍රියාවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහෙයින් මාරාන්තික උපවාස කිරීම බුදු දහමට අපහාසයක් බව ද ප්‍රකාශ කරයි.

වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්වූයේ අද (28) දින ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ලග්ගල, නගරයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු සහ සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය අමතමිනි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අන්තවාදය හා ජාතිවාදය කිසි විටෙක බුද්ධ ධර්මයට අනුකූල නොවන බවය.

තමන්ගේ භාෂාව, ජන වර්ගය හා ආගම පිළිබඳව ආඩම්බර වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා පැවසූයේ, ඒ සමඟම අපි සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස ද ආඩම්බර විය යුතු බවය.

තමන්ගේ සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වීමටත්, අනෙක් සංස්කෘතීන්ට ගරු කිරීමටත් ශ්‍රී ලාංකිකයන් ලෙස අප පුරුදු පුහුණු විය යුතු බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මෙතෙක් කලක් සමෘද්ධිය මගින් සිදුවූයේ ජනතාව සමෘද්ධිමත් කිරීම නොව ඇතැම් දේශපාලනඥයින් සහ නිලධාරීන් සමෘද්ධිමත් වීම බව එම උත්සවය අමතමින් පැවසූ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා, වසර 10 කට වඩා රජයේ ඉඩම්වල පදිංචිව සිටින ජනතාවට ඒවාහි සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට ලබන මාසය වන විට කටයුතු කරන බව ද පැවසීය.

Leave A Reply

Your email address will not be published.