ප්‍රේමදාස නමේ තේරුමට අනුව ජනතාවට ප්‍රේම කරන්නත් දාසයෙකු සේ වැඩ කරන්නත් මම සුදානම් – සජිත්

සතුට සහ ප්‍රීතිය රඳා පවතින්නේ තමන්ට ලැබෙන දෙයින් නොව තමන් අනුන්ට ලබා දෙන දෙයින් යැයි මහත්මා ගාන්ධිතුමන් ප්‍රකාශ කර ඇති බවත්, රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්තිය වන්නේද එයම බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තම පියාණන් ජනතා සේවාවන් සහ පරාර්ථකාමී ක්‍රියාවන් සිදු කර සතුටු වූවා සේ තමන්ද අද එලෙස කටයුතු කරමින් ඉමහත් සතුටක් භුක්ති විදින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මානුෂීය, ශීලාචාර හා ශිෂ්ටසම්පන්න ජනතා සේවාවක් සිදු කරන පාලකයින් ඉදිරියේදී රටට අවශ්‍යයැයි මෙරට ජනතාව තීන්දු කළහොත්, එදිනට දිවා රෑ නොබලා මෙරට ලක්ෂ 220 ක් වූ පුරවැසි පරපුරට ප්‍රේමදාස නාමයේ අර්ථයට අනුව ජනතාවට ප්‍රේම කරන්නටත්, දාසයෙකු සේ සේවය කරන්නටත් තමන් සුදානම් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, රස්නායකපුර, කල්ලංචිය ප්‍රදේශයේ ඉදිකළ “සව්සෙත්ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (28) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 208 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“සව්සෙත්ගම” උදා ගම්මානය නිවාස 26 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 375 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.

ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 26 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 104 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 26 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 කට රුපියල් ලක්ෂ 532 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 15 ක් සඳහා රුපියල් ලක්ෂ 30 ක් වටිනා ‘සොඳුරු පියස’ නිවාස ණය, පවුල් 11 කට රුපියල් ලක්ෂ 31 ක් වටිනා ‘වකුගඩු නිවාස ආධාර, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 13 ක් වටිනා ‘විරු සුමිතුරු’ නිවාස ආධාර සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 112 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

Leave A Reply

Your email address will not be published.