වෛද්‍ය ෂාෆි ගැන CID වාර්තාව කියන්නේ මොනවාද ? Video

සිසේරියන් සැත්කම් 4372ක් සිදුකරලා

වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කම් 4372ක් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ, ෂාෆි වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි සහ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් පිටු 210 ක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්.

එම දෙපාර්තෙමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෂාෆි වෛද්‍යවරයා සිංහල සහ දෙමළ මව්වරුන් සිසේරියන් සැත්කම්වලට ලක් කරනවිට අඩු කාලයක් ගෙන ඇති බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆිට අදාළව මෙතෙක් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් පිටු 210ක වාර්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මේ වනවිට 500දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවාගෙන පරීක්ෂණ කරන ෂාෆි වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාත් සංවිධානයට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් මෙතෙක් අනාවරණ වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර ඇත.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ, ඉදිරියේදි ආරක්ෂක ලේකම්වරයාට කරුණු වාර්තා කොට ෂාෆි වෛද්‍යවරයාගේ රැඳවුම් නියෝගය අවලංගු කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, වෛද්‍ය ෂාෆි කුරුණෑගල ශික්ෂණ රෝහල තුළදී සිසේරියන් සැත්කම් 4372ක් සිදුකර ඇති බව අධ්‍යක්ෂවරයා පවසා ඇතැයි සී. අයි. ඩී. ය මෙහිදී කියා සිටියේය.

ඒ, සිංහල මව්වරුන් 3479 ක්, දෙමළ ජාතික මව්වරුන් 860 ක්, සහ මුස්ලිම් ජාතික මව්වරුන් 33 වශයෙන්.

ඔහු සිංහල මව්වරුන් දෙමළ මව්වරුන්ගෙන් සිසේරියන් සැත්කම් සිදුකරන අවස්ථාවලදී ඒ සඳහා සාමාන්‍යෙයන් ගතවන කාලයට වඩා අඩු කාලයක් ගත් බවත් සැත්කම් අවසන් වීමට ආසන්න මොහොතේදී ශල්‍යාගාරයේ රැඳී සිටි සහායක කාර්ය මණ්ඩලය වෙනත් රාජකාරී සඳහා පිටත් කිරීමට කටයුතු කර ඇති බවත් කුරුණෑගල රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයෙන් ලබාගත් ප්‍රකාශ ලබාදී ඇති බව සී. අයි. ඩී. කියා සිටියේය.

කුරුණෑගල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක් වන දීපානි නන්දසේන මහත්මිය ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් එම රෝහලේ සහකාර අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබූ අතර එලෙස පැමිණිලි කිරීමෙන් අනතුරුව ෂාෆි වෛද්‍යවරයා සහ දීපානි නන්දසේන වෛද්‍යවරිය අතර රෝහලේ කොරිඩෝවේ උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද සී. අයි. ඩී. ය අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී ෂාෆි වෛද්‍යවරයා දීපානි නන්දසේන වෛද්‍යවරියට පවසා ඇත්තේ මුදල් බලය මෙන්ම දේශපාලන බලය ද තමන් සතුව ඇති බවයි.

කෙසේවෙතත් ෂාෆි වෛද්‍යවරයා සිදුකළ සැත්කම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණිලි 615ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 468ක් සැකය මත පදනම්ව යොමු කරන ලද පැමිණිල බව සී. අයි. ඩී. ය පැවසුවේය.

කෙසේ වෙතත් සෙසු පැමිණිලි 147 සැත්කමින් පසු විවිධ සංකූලතාවයන්ට මුහුණ දෙන මව්වරුන්ගෙන් ලැබුණු පැමිණිලි බව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.‍

විවිධ සංකූලතා සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබදව කොළඹ ජාතික රෝහලේදී SHG පරික්ෂණයක් සිදුකිරීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙස ද සී. අයි. ඩී. ය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

එහිදී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ගේ ඉල්ලීම මත අධිකරණයේ අදහස් දැක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ සැත්කම්වලින් අනතුරුව මද සරු භාවයට හෝ විවිධ සංකූලතාවයන්යට මුහුණ දෙන මව්වරුන් SHG පරික්ෂණවලට යොමුකිරීමෙන් එය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට තවත් අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි.

ඒ අනුව අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට ඉඩ නොදුන් අතර කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් ලබාගෙන එළැඹෙන 11 වනදා එය අධිකරණයට ඉදිරිපත්කරන ලෙස සී අයි ඩී යට නියෝග කළේය.

කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාවලට අදාළව පරීක්ෂණ සැහැල්ලුවට ගෙන ඇති බව පෙනී යන බවයි.

කෙසේ වෙතත් ෂාෆි වෛද්‍යවරයාගේ මාසික ආදායම රුපියල් දහනව ලක්ෂ විසිතුන්දහස් පන්සීයක් බවත් ඔහු පසුගිය කාලයේ පන්කෝටි තිස්ලක්ෂ හතලිස් හත්දහස් හයසීයක් වැය කර දේපල මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වන්නේ යැයි සී අයි ඩී ය අධිකරණයට දන්වා ඇත.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට වැඩම කර සිටියේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ද අද මාධ්‍ය හමුවක් පවත්වමින් ෂාෆි වෛද්‍යවරයාගේ විමර්ශන සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

Leave A Reply

Your email address will not be published.